Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - ෂීසෙල්ස් සටන අද

ශ්‍රී ලංකා - ෂීසෙල්ස් සටන අද

editorial - 2021 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 17 කට පසුව අන්තර්ජාතික පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාවට අද (13) අප්‍රිකානු රජයක් වන ෂීසෙල්ස් දූපත් මුණගැසෙයි. ඒ අද රාත්‍රී 9 ට කොළඹ රීඩ් මාවතේ ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ය. මෙය එහිදී දැන් පැවැත්වෙන අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරගයකි.

තරගාවලියේ ඉදිරියට යාමට දෙරටටම මෙම තරගය තීරණාත්මකය. දෙරටම මේ වන විට මූලික වටයේ එක් තරගයකට බැගින් සහභාගිවී එම තරග සම කිරීමෙන් එක් ප්‍රසාද ලකුණක් බැගින් ලබා සිටියි.

ශ්‍රී ලංකාව මාලදිවයිනට එරෙහිව පැවැති තරගය සම කිරීමෙන්ද (4-4) ෂීසෙල්ස් බංගලාදේශයට එරෙහිව පැවැති තරගය සම කිරීමෙන්ද (1-1) තරගාවලියට සහභාගිවී සිටින රටවල් හතරටම මේ වන විට එක් ප්‍රසාද ලකුණක් බැගින්  සම ලකුණු හිමිවී තිබේ.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ අද සිට ඉතිරිවී තිබෙන තරග හතරේම ප්‍රතිඵලය ලබන සිකුරාදා (19) පැවැත්වෙන අවසන් මහා තරගයට පිවිසෙන කණ්‍ඩායම් දෙක කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කෙරෙනු ඇත.

වසර 2014 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව හා ෂීසෙල්ස් අවසන් වරට ජාත්‍යන්තර (සුහද) පාපන්දු තරග දෙකකට සහභාගිවීමේදී දෙරට එක් තරගයක් බැගින් ජයගෙන තිබේ. එහි පළමු තරගය ශ්‍රී ලංකාව ගෝල 2-1 කින්ද දෙවනි තරග ෂීසෙල්ස් 3-0 කින්ද ජයගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අවසන් වරට කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ෂීසෙල්ස් රාජ්‍යය 199 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාවට එහි හිමි තැන 204 වැනි ස්ථානයයි.
අද ශ්‍රී ලංකාවට මුණගැසෙන ෂීසෙල්ස් රාජ්‍යය අන්තර්ජාතික පාපන්දු පිටියේ මෑත කාලයේ දස්කම් අතරට නොපැමිණි කණ්‍ඩායමකි. අප්‍රිකානු පාපන්දු සංගමය නියෝජනය කරන ෂීසෙල්ස් පසුගිය දෙවසරක (2020-21) කාලය තුළදී මෙතෙක් සහභාගිවී සිටින අන්තර්ජාතික පාපන්දු තරග හයක දී ජයග්‍රහණ වාර්තා නොකළත් මුරුෂි දූපත් රාජ්‍යයට එරෙහිව පැවැති බන්ගබන්දු කුසලාන (2020) තරගය (2-2)  සමකර තිබේ.

ඔවුන් අවසන් වරට පසුගිය බදාදා (19) කොළඹදී සහභාගිවූ තරගයේදීද බංලාදේශයට සමවිය (1-1). පසුගිය සැප්තැම්බර් 4 වැනිදා පැවැති සුහද ජාත්‍යන්තර තරගයකදී ඔවුන් බුරුන්ඩි රාජ්‍යයට ගෝල 8-1 කින් පරාජය වී තිබේ.

කෙසේ වුවත් ඔවුන්ගේ අද ප්‍රතිවාදියා බවට පත්ව සිටින සත්කාරක ශ්‍රී ලංකාව මහින්ද රාජපක්ෂ කුසලාන තරගාවලියේ අද තරගයට මුහුණ දෙන්නේ වඩාත් අභිමානයෙනි. අඟහරුවාදා පැවැති එම තරගයේදි මාලදිවයින හමුවේ තවත් අවාසනාවන්ත පරාජයකට ළඟාවෙමින් සිටියදී අනපේක්ෂිත ආකාරයෙන් අවසන් මොහොතේ එය ගෝල 4-4 කට සම කිරිමට එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී අහමඩ් රසීත් විසින් ශ්‍රී ලංකා පිලට එම ගෝල හතරම අත්කරදීම වඩාත්ම සුවිශේෂී කාරණාව විය. ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයද ලැබීය.

නිත්‍ය දැල් රකින්නා වෙමින් ශ්‍රී ලංකා කණ්‍ඩායමට නායකත්වය දෙන සුජාන් පෙරේරා අද තරගයේදීත් වසිම් රසීත් හෝ  එවැනිම විශේෂිත වූ දක්ෂතාවයන් අපේක්ෂා කරනු ඇත. මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මෑත කාලයේදී ගෝල ලබා ගනිමින් ඉදිරියෙන්ම පසුවේ. පසුගිය ජුනි 5 වැනිදා පැවැති ලෝක කුසලාන (2022) සුදුසුකම් තරග වටයේදී ලෙබනනයට ගෝල 3-2 කින් පරාජය වූ තරගයේදීත් ප්‍රතිවාදීන්ට එරෙහිව මෙම ගෝල දෙකම වාර්තා කළේද වසීම් රසීත් ය.

මොහු ජර්මනියේ ක්‍රීඩා සමාජ තරගවලට සහභාගිවන ද්විත්ව පුරවැසියෙකි. වසර 2013 කත්මණ්ඩු නුවරදී පැවැති සාෆ් ශූරතා පාපන්දු තරගාවලියේ භූතානයට එරෙහිව පැවැති තරගයකදී මොහොමඩ් ඉසදින් ගෝල හතරක් වාර්තා කරමින් එකම තරගයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ගෝල වාර්තාව සම කිරීමට ඒ අනුව අඟහරුවාදා පැවැති තරගයේදී වසීම් රසීත් සමත් විය.

ඒ අනුව අද තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වන්නේ නම් වසර 2018 න් පසුව ඔවුන් ජයගන්නා පළමු ජාත්‍යන්තර පාපන්දු තරගය බවටද එය පත්වේ. එහෙත් මේ දක්වා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ මුහුණ දුන් තරග ගණන 23 කි. 2019 ජුනි 11 වැනිදා ශ්‍රී ලංකාව ලෝක කුසලාන (2022) කලාපීය දෙවැනි වටයට පිවිසීම සනාථ වූයේ මැකාවෝ රාජ්‍යය ශ්‍රී ලංකාව සමග කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ තරගයට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ බැවිනි.

එහිදී ශ්‍රී ලංකාවට ගෝල 3-0 ක් ලෙස සලකා නිතරග ජයක් ප්‍රදානය කරමින් ලෝක කුසලාන (2022) ආසියානු කලාපීය දෙවැනි වටයට ඇතුළත් කර ගැනුණි.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ෂීසෙල්ස් සටන අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.