Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වේයන්ගොඩ සියනෑ ක්‍රීඩා සමාජය ශූරතාව දිනයි

වේයන්ගොඩ සියනෑ ක්‍රීඩා සමාජය ශූරතාව දිනයි

editorial - 2023 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

දිවුලපිටිය පාපන්දු ලීගය සංවිධානය කළ සභාපති කුසලාන (නව සාමාඡික) පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වේයන්ගොඩ සියනෑ ක්‍රීඩා සමාජය සමත් විය. වේයන්ගොඩ, නාරංවත්ත, සියනෑ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගෝල 4-1 ක් ලෙස කොටුගොඩ නිවාසි පාපන්දු සමාජය පරාජය කරමින් සියනෑ ක්‍රීඩා සමාජය ශූරතාවට හිමිකම් කීවේය.

ශූරතාව දිනාගැනීම වෙනුවෙන් වේයන්ගොඩ සියනෑ ක්‍රීඩා සමාජයට කුසලාන සමග රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණ අතර අනු ශූරතාව වෙනුවෙන් කොටුගොඩ නිවාසි පාපන්දු සමාජයට කුසලාන සමග රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ.

තෙවැනි ස්ථානය හිමිකරගත් නාඹුළුව යූත් පාපන්දු සමාජයට රුපියල් 15,000 ක්ද, සිවුවැනි ස්ථානය හිමිකරගත් ගල්ඔළුව යූත් ක්‍රීඩා සමාජයට රුපියල් 10,000 ක්ද පිරිනැමුණ අතර දක්ෂතම දැළ රකින්නා ලෙස සියනෑ ක්‍රීඩා සමාජයේ සුපුන් විදුරංගද, දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම ක්‍රීඩා සමාජයේම තරිඳු මදුරංගද සම්මාන දිනාගත්හ.  

කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ මූලික වටය කාණ්ඩ 4 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්විණ. එම කාණ්ඩ 4 හි පළමු සහ දෙවන ස්ථාන හිමිකරගත් කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටයට තෝරාගැනුණ අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්විණි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා සහභාගි වූ අතර වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපතිවරයා විශේෂ ආරාධිතයකු ලෙස එම අවස්ථාවට එක් විය. අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ඉන්දික රාජපක්ෂ මහතා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.


අදහස් (0)

වේයන්ගොඩ සියනෑ ක්‍රීඩා සමාජය ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.