Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලීග 61ක් එකම සන්ධානයකට

ලීග 61ක් එකම සන්ධානයකට

editorial - 2023 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පෙරේදා (14) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය ලබන සැප්තැම්බර් 29 වැනිදා කැඳවීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ පැන නැගී තිබෙන පාපන්දු පරිපාලන අර්බුදයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ක්‍රීඩා අමාත්‍යාංශය මුළුමනින්ම එයින් නිදහස් විය.

ලීග 66ක සහභාගීත්වයෙන් පෙරේදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමේ දී නිලවරණය කැඳවීම ඇතුළුව ඉදිරිපත්වූ යෝජනා සියල්ලටම ලීග 61 ක අනුමැතිය ලැබුණු අතර, සෙසු ලීග පහක් එහිදී මනාපය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

මෙවර වෙනම පාර්ශවයක් ලෙස නාමයෝජනා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබෙන අනුරාධපුර පාපන්දු ලීගයේ සභාපති දක්‍ෂිත තිලංග සුමතිපාල මහතාද මෙම යෝජනාවලට සහය පළ කරමින් අත එසවීම කැපී පෙනුණි.

ඒ අනුව පෙරේදා විශේෂ මහ සභා රැස්වීමේ දී තීරණය කළ පරිදි සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන පාපන්දු ආයතනයේ නිලවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන් කිරීම ලබන සෙනසුරාදා (19) පස්වරු 3ට සිදු කෙරේ.

ඒ අතර නාමයෝජනා සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි හා සහතික පත්‍ර ප්‍රමාදයක් සිදුවේ නම් අපේක්‍ෂකයන්ට ඒවා බාරදීමට අගෝස්තු 24 වැනිදා අතිරේක දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

නාමයෝජනා නිල වශයෙන් අගෝස්තු 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විරෝධතා බාරගැනීම අගෝස්තු 31 වැනිදා පස්වරු 3 දක්වා සිදු කෙරේ. එහිදී නිලවරණයට අනුමත නාමයෝජනා ලැයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා නිලවරණ කමිටුව විසින් ප්‍රකාශයට පත් කෙරේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 13 දෙනකුට සීමාවී තිබෙන විධායක සභාව තෝරා ගැනීම සඳහා ලබන සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන නිලවරණයේ පත්කිරීම සිවු වසරක කාලයකට වලංගුවේ. එහිදී විශේෂත්වය ප්‍රධාන ලේකම් ධුරය නිලවරණයෙන් පත් කර නොගන්නා අතර එය මෙතැන් සිට වැටුප් ලබන පරිපාලන ධුරයක් බවට පත් කිරීමයි.

නිලවරණ කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. මජීඩ් (සභාපති), විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු හා විශ්‍රාමික මේජර් ජනරාල් උපාලි ගුණසේකර යන මහත්වරුන්ගෙන් සමන්විතය.

අභියාචනා කමිටුවේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික දිසා විනිසුරු සරත් කරුණාරත්න හා නීතිඥවරුන් වන හිජාඩ් හිස්බුල්ලා හා චමත් ජයසේකර යන මහත්වරුන්ය. පොල්ගහවෙල පාපන්දු ලීගයේ සභාපති, පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා මහතා අභියාචනා කමිටුවේ පත්කිරීම් සම්බන්ධයෙන් එහිදී විරෝධතාවක් ගොනු කරමින් අදහස් දැක්වීය.

මෙවර නිලවරණයේ දී විශේෂිතම සිදුවීම වන්නේ අවසන් වරට ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේ දී පාර්ශව ලෙස බෙදී සිටි හිටපු සභාපතිවරුන් වන ජස්වර් උමාර්, රංජිත් රුද්‍රිගු හා හිටපු සභාපති අපේක්‍ෂකයකු වන වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් එකම පාර්ශවයකට පැමිණ නාමයෝජනා බාරදීමට තීරණය කිරීමයි.


අදහස් (0)

ලීග 61ක් එකම සන්ධානයකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.