Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රොනාල්ඩෝ - මෙසී සිහිනය හඹායති
පාපන්දු ලෝක කුසලාන - 2022

රොනාල්ඩෝ - මෙසී සිහිනය හඹායති

editorial - 2022 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ස්ථිර වශයෙන්ම, අර්ජන්ටිනාවේ ලයනල් මෙසී හෝ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙදෙනාගෙන් අයකුගේ සිහිනය බොඳවී යනු ඇත. දෙදෙනාම තම තමන්ගේ පස්වැනි සහ අවසන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නමුත් ජයගත හැක්කේ දෙදෙනාගෙන් අයකුට පමණි.

2014 දී කුසලානයට අත පොවන මානයට පැමිණි නමුත් අවසන් මහ තරගයේදී පරාජය වූ ආර්ජන්ටිනා පිලට නායකත්වය දෙන ලයනල් මෙසී, මේ වතාවේදී හෝ ලෝක කුසලානයේ ජයපැන් බීමේ අපේක්‍ෂාවෙන් පසුවෙයි.

ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී පස්වැනි ලෝක කුසලාන තරගාවලියට එක්වනු නමුත් ඔහු තවමත් ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමක සාමාජිකයකු වී නැත. ආර්ජන්ටිනාව ඇතුළත් ‘සී’ කාණ්ඩයට සෞදි අරාබිය, මෙක්සිකෝව සහ පෝලන්තය ඇතුළත්ව සිටින නමුත් පළමු කඩුල්ල පැනගැනීම ආර්ජන්ටිනාවට අසීරු නොවේ. එහෙත් සටන ඇත්තේ එතැන් සිටය.
තම පස්වැනි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායමත් ආසියාවේ බලවත්ම කණ්ඩායමක් වන දකුණු කොරියාවත් ‘එච්’ කාණඩයට එක්ව සිටිති.

මේ වසරේ නොවැම්බර් මාසයේදී  පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේදී තම තමන් මුහුණ දෙන්නේ කාටද යන්න පසුගිය සිකුරාදා පැවති කුසපත් ඇදීමේ උත්සවයේදී අන්තර්ජාතික පාපන්දු පිටියේ දැවැන්තයෝ වටහාගත්හ. අතිශය දීප්තිමත් සන්ධ්‍යාවක් වූ පසුගිය සිකුරාදා, කටාරයේ අගනුවර වන දෝහා නුවරදී මෙම කුසපත් ඇදීම පැවැත්විණ.

සිව් වතාවක් ජූල්ස් රිමේට් කුසලාන දිනාගත් ජර්මනිය, 2010 ජයග්‍රාහකයන් වූ ස්පාඤ්ඤය සමඟ ‘ඊ’ කාණ්ඩයට එක්ව සිටී. ඒ අතර, එක්සත් ජනපදය ඇතුළත් වූයේ ඔවුන් සමඟ දිගුකාලීන දේශපාලන ආරවුල් ඇති රටක් වන ඉරානය ද ඇතුළත් ‘බී’ කාණ්ඩයටය. එංගලන්තය මෙන්ම ඇතැම් විට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත හැකි යුක්රේනයත් ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට එක්ව සිටී.

නොවැම්බර් 21 වැනිදා ආරම්භ වන තරගාවලියේ මුල්ම තරගයට සත්කාරක කටාරය සහ ඉක්වදෝරය එක්වෙති. මේ වන විටත් ජූල්ස් රිමේට් කුසලානය ළඟ තබාගෙන සිටින ප්‍රංශය ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින අතර ඩෙන්මාර්කය සහ ටියුනීසියාවද ‘ඩී’ කාණ්ඩයයට එක්ව සිටිති.

තරගාවලියේ ඉතාමත්ම අසීරු කාණ්ඩය හෙවත් මරණයේ කාණ්ඩය ලෙසින් මෙවර සැලකෙන්නේ ‘ජී’ කාණ්ඩයයි. පස් වතාවක් ලෝක කුසලාන දිනාගත්තා පමණක් නොව, මේ වන විට ලෝකයේ අංක 1 හිමි කණ්ඩායමද වන බ්‍රසීලය සමගින්, සර්බියාව, ස්විට්සර්ලන්තය සහ කැමරූන් කාණ්ඩගතව සිටී. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා එක් කාණ්ඩයකින් තෝරාගනු ලබන්නේ රටවල් දෙකක් පමණක් වන බැවින් ‘ජී’ කාණ්ඩයේ කණ්ඩායම් අතර ඇතිවිය හැක්කේ ඉතාමත් උණුසුම් තරගයකි.

කෙසේ වෙතත් බ්‍රසීල පුහුණුකරු ටයිට් නිසැකවම තමන් ඉදිරියේ පවතින අභියෝගයේ තරම දනී.

“අපේ ප්‍රතිවාදීන්ගේ මෑතකාලීන ප්‍රතිඵල ඔබ දුටුවහොත්... මේ තත්ත්වය හසුරුවාගන්න තරමට වැඩ කිරීමට අපට සිදුවෙනවා කියා ඔබට තේරේවි” යයි ඔහු පැවසීය.
“ඉතාලියට එරෙහිව ස්විට්සර්ලන්තය ක්‍රීඩා කළ සුදුසුකම් ලැබීමේ තරඟය මා නැරඹුවා. ඒක ලෝකයේ ඉහළම මට්ටමේ තරඟයක්. ඒ වගේ කණ්ඩායමක් පරාජය කරන්න අපි අපේ ඉහළම මට්ටමේ සිටිය යුතුයි” යයි බ්‍රසීල පුහුණුකරුවා පැවසීය.

එක් එක් කාණ්ඩයට ඇතුළත්ව සිටින කණ්ඩායම් අතර පවතින පැරණි එදිරිවාදිකම් ද මෙම අවස්ථාවේදී සිහිපත් කෙරෙනු ඇත.

“එංගලන්තයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය කරා (මෙම තරගය) ගැඹුරින් දිව යනවා අපට එයින් ඉවත් විය නොහැකියි. එය ජාතියක් ලෙස අප තුළ ඇති දෙයක්” යයි එක්සත් ජනපද කණ්ඩායමේ පුහුණුකරු ග්‍රෙග් බර්හෝල්ටර් මහතා පැවසීය. අනෙක් අතට ඇමරිකානු කණ්ඩායමට තරග වදින්නට සිදුව ඇත්තේ දේශපාලන එදිරිවාදිකම් ඇති ඉරානය මෙන්ම පුහුණුකරු ග්‍රෙග් බර්හෝල්ටර්ගේ ඉහළම ගරුත්වය දිනාගත් ගැරත් සවුත්ගේට්ගේ ගුරුහරුකම් ලබන එංගලන්ත පිලට එරෙහිවය.

“අපි දෙන්නාට දිගු ඉතිහාසයක් තියෙනවා. පුහුණුකරුවෙක් වශයෙන් මම ඔහු (ගැරත් සවුත්ගේට්) දිහා තමයි බලා හිටියේ”

“ඔහු හැමතිස්වෙලේම මාත් එක්ක එකට හිටියා... මට අවවාද උපදෙස් දුන්නා. මම පළමු වතාවට පුහුණුකරුවකු වශයෙන් පත්වීමක් ගත්තාම, මා බලා සිටියේ ඔහු දිහා තමයි” යයි ඇමරිකානු පුහුණුකරුවා පැවසීය.

කැනඩාව, වසර 36 කට පසුව, පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටී. කැනේඩියානු කණ්ඩායම ඇතුළත්වන ‘එෆ්’ කාණ්ඩයට බෙල්ජියම සහ ක්‍රොඒෂියාවත් ඇතුළත්ව සිටින බැවින් ඔවුන්ගේ ගමන පහසු එකක් නොවනු ඇත.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 18 දක්වා පැවැත්වේ.
මෙම තරගාවලියට මැදපෙරදිග රටක සත්කාරකත්වය හිමිවන පළමු අවස්ථාව මෙය වේ.


අදහස් (0)

රොනාල්ඩෝ - මෙසී සිහිනය හඹායති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.