Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රංගා නෙරපීමට විශේෂ මහ සභා රැස්වීමක් කැඳවයි

රංගා නෙරපීමට විශේෂ මහ සභා රැස්වීමක් කැඳවයි

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට දිවයිනේ සියලුම ලීග සහභාගීත්වයෙන් ඉදිරියේ දී පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ.

මෙම රැස්වීම කැඳවීම සඳහා  පාපන්දු ආයතනයේ නිලවරණ සමයේ  බෙදි සිටි සියලුම පාර්ශ්ව ඒකාබද්ධවීමට තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාවට පැනවූ අන්තර් ජාතික පාපන්දු තරග  තහනමක් සමග මේ වනවිට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා හා පරිපාලන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබේ.

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත් වූ  ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජේ. ශ්‍රී. රංගා මහතාගේ විධායක සභාව (2022-23) මේ වනවිට බිඳ වැටී තිබේ. එහි ඉතිරිව සිටින්නේ සභාපතිවරයා හැරෙන්නට උප සභාපතිවරුන් දෙදෙනකු හා උප ලේකම්වරයෙක් පමණි.

පාපන්දු ලීග රැසක සහභාගීත්වයෙන් ඉදිරියේ දී කැඳවනු ලබන විශේෂ මහා සභා රැස්වීමේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීම ජනවාරි 14 වැනිදා දක්වා පාපන්දු ආයතනයේ විධායක සභාව මෙහෙය වූ හිටපු සභාපති ජස්වර් උමාර්  මහතාගේ පාර්ශවයට පැවරීමට හිටපු සභාපතිවරුන් වන අනුර ද සිල්වා සහ රංජිත් රුද්‍රිගු යන මහත්වරුන්ගේ පාර්ශ්ව තීරණය කර තිබේ. පසුගිය නිලවරණයේ දී ජේ.ශ්‍රී රංගා මහතා සභාපති ධුරයට පත් කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා ද මේ වනවිට ජේ.ශ්‍රී රංගා මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකඟවී සිටින බව පාපන්දු ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රජාවේ විශ්වාසය බිඳ  දැමීම සම්බන්ධයෙන් වත්මන් සභාපති ජේ.ශ්‍රී රංගා මහතාට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට මෙම විශේෂ මහ සභා රැස්වීමේ දී කටයුතු කෙරේ.

වවුනියාව මහාධිකරණයේ විභාග කෙරෙන නඩුවක් හමුවේ රංගා මහතා ලබන මැයි 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර  ගත කිරීමෙන් මේ වනවිට පාපන්දු ආයතනයේ පරිපාලන කටයුතු ද ඇණහිට තිබේ. එහි සේවක සේවිකාවන්ට මාර්තු මාසයේ හිමි වැටුප පසුගිය සඳුදා වනවිටත් ගෙවා නොතිබිණ.

මෙම තත්ත්වය තුළ සිංහල අලුත් අවුරුද්ද යෙදෙ‍ෙ අප්‍රේල් මාසයේ 10 වැනිදාට පෙර හෝ තමන්ගේ වැටුප ලබා ගැනීමත් පාපන්දු ආයතනයේ සේවකයන්ට දැන් ප්‍රශ්නයක් වී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.


අදහස් (0)

රංගා නෙරපීමට විශේෂ මහ සභා රැස්වීමක් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.