Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යූරෝ 2020 පාපන්දු ශූරතාව ඉතාලියට

යූරෝ 2020 පාපන්දු ශූරතාව ඉතාලියට

editorial - 2021 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති අවසන් මහ තරගය ගෝල 1-1 ක් ලෙස සම වීමෙන් අනතුරුව  දඬුවම් පහර 3-2 ක ජයක් වාර්තා කළ ඉතාලිය, යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. එංගලන්තයේ දඬුවම් පහර 3 ක් වලකාලමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා‍ගෙන ගිය ඉතාලි දැල රකින ක්‍රීඩක ජියන්ලුගි ඩොනරුමා තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.

තරගය ආරම්භ වී විනාඩි 2 ක් ගතවනවාත් සමග කිරන් ට්‍රිපියර්ගේ සහයෝගයෙන් ගෝලයක් ලබාගත් ලුක් ෂෝ ප්‍රේක්ෂක ඔල්වරසන් මැද එංගලන්තය පෙරමුණට ගෙන ආවේය. පළමු අර්ධය තුළදී ගෝල ලබා ගැනීමට ඉතාලි ක්‍රීඩකයන් අසමත් වීම නිසා ෂෝගේ ගෝලයත් සමග ගෝල 1-0 ක් ලෙස එංගලන්තයට වැඩි වාසි අත්කර දෙමින් එම අර්ධය නිමාවට පත් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 22 ක් ගතවන විට එනම් තරගයේ 67 වැනි විනාඩියේදී ඉතාලිය වෙනුවෙන් ගෝලයක් ලබාගත් ලියනාඩෝ ‍බොනූචි ගෝල 1-1 ක් ලෙස තරග සම තත්ත්වයට පත් කළේය. ඉන් අනතුරුව තරගය නිමාවන තෙක් මෙන්ම අතිරේක කාලය තුළද ගෝල ලබාගැනීමට දෙපිලේම ක්‍රීඩකයන් අසමත් වීම නිස‍ා ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර කරා යෑමට විනිසුරුවරයාට සිදුවිය.

එහිදී දඬුවම් පහර 3 ක් සාර්ථක කරගැනීමට ඉතාලි ක්‍රීඩකයෝ සමත් වෙද්දී, එංගලන්ත ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර 2 ක් පමණි. ඉතාලිය වෙනුවෙන් පළමු දඬුවම් පහර සාර්ථක කරගත් ඩොමිනිකෝ බෙරාඩි ‍1-0 ක් ලෙස සිය කණ්ඩායම පෙරමුණ ගෙන ආ නමුත් එංගලන්තය වෙනුවෙන් පළමු දඬුවම් පහර සාර්ථක කරගත් නායක ‍හැරී කේන් 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළේය.

ඉතාලියේ දෙවැනි දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඇන්ඩ්‍රියා බෙලෝටි අසමත් වෙද්දී, එංගලන්තයේ දෙවැනි දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූ හැරී මැගුවර් 2-1 ක් ලෙස ඉතාලිය පසුපසට තල්ලු කළේය. ‍එහෙත් ඉතාලියේ තෙවැනි දඬුවම් පහර සාර්ථක කරගනිමින් 2-2 ක් ලෙස යළිත් වරක් තරගය සම තත්ත්වයට ඇද දැමීමට ඉතාලිය වෙනුවෙන් එකම වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කී ලියනාඩෝ ‍බොනූචි සමත් විය.

එංගලන්තයේ තෙවැනි දඬුවම් පහර සාර්ථක කර ගැනීමට මාකස් රෂ්ෆර්ඩ් අපොහොසත් වීමෙන් අනතුරුව ඉතාලියේ සිවුවැනි දඬුවම් පහර සාර්ථක කරගත් ෆෙඩරිකෝ බර්නාඩෙස්චි 3-2 ක් ලෙස සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීය. ඉන් අනතුරුව එංගලන්තයේ සිවුවැනි සහ පස්වැනි දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ජාඩන් සැන්චෝ සහ බුකායෝ සාකාද, ඉතාලියේ පස්වැනි දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ජෝජීනියෝද (ජෝජ් ලුවිස්) අසමත් වූහ.

මෙවර තරගාවලියේ තරග 7 කට සහභාගී වූ ඉතාලිය, එම තරග 7 ම ජයගෙන 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන අපරාජිත බව රැකගනිමින් එහි ශූරතාවට හිමිකම් කීවේය. මේ වන විට ලෝක ‍පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන ඔවුන් ජාත්‍යන්තර පාපන්දු පිටියේදී පිට පිටම ලැබූ 15 වැනි ජයග්‍රහණය මෙයයි. අවසන් වරට සහභාගි වූ තරග 34 දීම පරාජය නොවී සිටීමටද ඉතාලියට හැකි වී ඇත.

ඉතාලිය යූරෝ පාපන්දු ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් වසර 53 කට පෙර එනම් 1968 වසරේදීද ඔවුන් එම ශූරතාවට හිමිකම් කියා තිබිණ. 2000 සහ 2012 වසරවලදී පැවැති යූරො පාපන්දු තරගාවලීන්හි අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගැනීමටද ඉතාලිය සමත් වූ නමුත් එහිදී ඔවුන් පිළිවෙලින් ප්‍රංශය සහ ස්පාඤ්ඤය හමුවේ පරාජයට පත්විය.  

මේ වන විට ‍ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමිහි සිවුවැනි ස්ථානයේ පසුවන එංගලන්තය, යූරෝ පාපන්දු තරගාවලියක අවසන් මහ තරගකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වුවත්, එහිදී ඉතාලිය හමුවේ පරාජයට පත්වීම නිසා ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 1968 සහ 1996 වසරවලදී තෙවැනි ස්ථානයන්ට පත්වීම මින් පෙර ඔවුන් යූරෝ පාපන්දු තරගාවලින්හිදී දක්වා තිබූ ඉහළම දක්ෂතාව විය‍.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවූ ස්පාඤ්ඤයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය දඬුවම් පහර 4-2 ක් ලෙස ජයගනිමින් ඉතාලිය මෙවර තරගාවලියේ අවසන් මහ තරග‍යට පිවිසියේය. එංගලන්තය මෙවර අවසන් මහ තරගයට පිවිසියේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවූ ඩෙන්මාර්කයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ගෝල 2-1 ක් ලෙස ජයගනිමිනි.

‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඉතාලිය, එහිදී ගෝල 2-1 ‍ක් ලෙස ඔස්ට්‍රියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී ලොව අංක ‍එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියමට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමිනි.

‘ඩී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එංගලන්තය, එහිදී ගෝල 2-0 ක්‍ලෙස ජර්මනිය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී යුක්රේනයට එරෙහිව ගෝල 4-0 ක පහසු ජයක් වාර්තා කරමිනි.

මූලික වටයේදී තුර්කියට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, වේල්සයට එරෙහිව ගෝල 1-0 ක් ලෙසද ජය වාර්තා කිරීමට ඉතාලිය සමත් විය. මූලික වටයේදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද, චෙක් ජනරජයට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද ජය වාර්තා කළ එංගලන්තය, ස්කොට්ලන්තය සමග ගෝල 0-0 ක් ලෙස සමවිය.

-036


අදහස් (0)

යූරෝ 2020 පාපන්දු ශූරතාව ඉතාලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.