Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මාලදිවයින පැරැද්දුවොත් පාරිතෝෂිකයක්

මාලදිවයින පැරැද්දුවොත් පාරිතෝෂිකයක්

editorial - 2021 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 19 කින් පරාජය කිරීමට අපොහොසත්ව සිටින මාලදිවයින හෙට (8) කොළඹදී ආරම්භ වන අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව් කොන් තරගාවලියේදී පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේ නම්, එහි සියලු ක්‍රීඩකයන්ට විශේෂ පාරිතෝෂික දීමනාවක් ගෙවීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සූදානම්ව සිටියි.

මෙම කණ්ඩායම් දෙක ජාත්‍යන්තර පාපන්දු තරගයකදී අවසන් වරට මුණගැසුණු පසුගිය ඔක්තෝබර් 10 වැනිදාද ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙම විශේෂ පාරිතෝෂික දීමනාව ගෙවීමට සූදානම්ව සිටියත්, එම තරගයෙන් ද ශ්‍රී ලංකාව ගෝල 1-0කට පරාජයට පත්විය.

ශූරයන්ට ඩොලර් 30,000ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 65 කට ආසන්න ත්‍යාග මුදලක් හිමි වන අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව් කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ  ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගය හෙට (8) රාත්‍රී 9.00 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම සිව් කොන් පාපන්දු තරගාවලියේ පළමු තරගය පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ, බංග්ලාදේශය හා ෂීෂෙල්ස් රාජ්‍යය අතරය. 

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උපහාර පිණිස සංවිධානය කෙරෙන තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට රාත්‍රී 8.00 ට පැවැත්වෙන්නේ මාලදිවයින් ජනාධිපති මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි  මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.  

වසර 13කට පසුව ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් සංවිධානය කරන පළමු ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙයයි. මෙම තරගාවලිය සඳහා ආසියානු පාපන්දු සමුළුවේ හා ලෝක පාපන්දු සම්මේලනයේ ද අනුග්‍රහය ලැබෙන අතර, එහි මුළු පිරිවැය ආසන්න වශයෙන් රුපියල් කෝටි පහක් පමණ වනු ඇත.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගය නැරැඹීම සඳහා මාලදිවයින් ජාතිකයෝ ද විශාල පිරිසක් ගුවන් යානා වෙන් කරගනිමින් පැමිණ සිටින බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. මෙම තරගය නැරැඹීම සඳහා විශේෂිත ආරාධිතයකු ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ද හෙට දිවයිනට පැමිණීමට නියමිතය.

අවසන් වරට මාලදිවයින පරාජය කිරීමේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසය 2002 තරම් ඈතකට දිව යයි. ඒ අතර, මෙතෙන් මුහුණ දුන් ‘සාෆ්’ ශූරතා තරගාවලි කිසිදු තරගයක් ජය ගැනීමටත් ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටියි. එය කොතෙක් ද යත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු තරග දෙවැනි දැවැන්තම පරාජයක් ගෝල 10-0කට අත්විඳ ඇත්තේ මාලදිවයිනට එරෙහිවයි. ඒ, වසර 2013 කත්මන්ඩු නුවරදී පැවැති අට වැනි සාෆ් ශූරතා තරගාවලියේදීය.

ඊට පෙර ශ්‍රී ලංකාව දැවැන්තම ජාත්‍යන්තර පාපන්දු තරග පරාජය ලබා තිබුණේ 1964 දී නැගෙනහිර ජර්මනියට එරෙහිව ගෝල 12-1ක් ලෙසටය.

අගමැති කුසලාන තරගාවලියට සහභාගි වන රාජ්‍යයන් අතර සත්කාරක ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 204 වැනි ස්ථානයේ ද මාලදිවයින 156 වැනි ස්ථානයේ ද බංග්ලාදේශය 187 වැනි ස්ථානයේ ද ෂීසෙල්ස් 199 වැනි ස්ථානයේ ද පසු වෙති.
ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව මෙම සිව් රාජ්‍යයන් අතරින් 40 වැනි ස්ථානය ලබා ඉදිරියෙන්ම පසුවන්නේ මාලදිවයිනයි.  ශ්‍රී ලංකාවේ එහි හිමි තැන 45 වැනි ස්ථානයයි.

මාලේ නුවරදී නිමාවට පත්වූ 13 වැනි සාෆ් ශූරතා තරගාවලියට සහභාගි වූ සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු  කණ්ඩායම සුළු වෙනස්කම් කිහිපයක් හැරෙන්නට මෙම තරගාවලියටත් නිර්දේශ වී සිටියි.  කටාර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන වයස 23න් පහළ සුදුසුකම් තරග වටයට නොබෝදා සහභාගි වූ ශ්‍රී ලංකා වයස 23න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට ද තවදුරටත් මෙම ජාතික සංචිතයේ අවස්ථාව හිමිව තිබේ.

වසර 2021 දී ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරග හයකින් පහක්ම පරාජයට පත්ව තිබේ. එහෙත් 2021 සාෆ් ශූරතාව දිනූ ඉන්දියාව සමග සාෆ් ශූරතා තරගය පමණක් නිලකුණු තත්ත්වයක් මැද ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

අගමැති මහින්ද රාජපක්‍ෂ කුසලාන සිව් කොන් පාපන්දු තරගාවලිය පැවැත්වෙන ආකාරය (පළමු තරගය පස්වරු 4.00 ට ද දෙවැනි තරගය රාත්‍රී 9.00 ට ද ආරම්භ වේ.)


නොවැම්බර් 8 –
I. බංග්ලාදේශය-ෂීසෙල්ස් අතර,
II. ශ්‍රී ලංකාව–මාලදිවයින අතර

නොවැම්බර් 11 –
I. බංග්ලාදේශය-මාලදිවයින අතර,
II. ශ්‍රී ලංකාව-ෂීසෙල්ස් අතර

නොවැම්බර් 14 –
I. ශ්‍රී ලංකාව-බංග්ලාදේශය අතර
II. ෂීසෙල්ස් - මාලදිවයින අතර

නොවැම්බර් 19 -
රාත්‍රී 8.00 ට අවසන් මහා තරගය

 


අදහස් (0)

මාලදිවයින පැරැද්දුවොත් පාරිතෝෂිකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.