Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගය තීරණාත්මකයි

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගය තීරණාත්මකයි

editorial - 2021 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයට එරෙහිව හෙට (16 වැනිදා) පැවැත්වෙන තරගය ජය ගැනීම හැරෙන්නට අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව් කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට වෙනත් විකල්පයක් ඉතිරිව නැත.  ඒ අනුව, ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම තීරණාත්මක තරගය හෙට කොළඹ රිඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී රාත්‍රී 9.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට කෙසේ වුවත්, ප්‍රතිවාදී බංග්ලාදේශයට මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම ලබන සිකුරාදා (19 වැනිදා) රාත්‍රී 8.00ට පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයට ප්‍රවේශ වීමට ප්‍රමාණත්වය.

හෙට පස්වරු 4.00ට මාලදිවයින හා ෂීසෙල්ස් රාජ්‍යය අතර පැවැත්වෙන තරගය ද තීරණාත්මකය. මන්දයත් මෙම තරගය ජය ගැනීම හැරෙන්නට මාලදිවයිනට ද අවසන් මහා තරගය කෙරෙහි වෙනත් සිතන්නට යමක් ඉතිරිව නැත.  එහෙත් ශ්‍රී ලංකාව ගෝල 1–0කට පරාජය කිරීමෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණි ෂීසෙල්ස් රාජ්‍යයට මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් අවසන් මහා තරගයට ඇතුළු වීමට ප්‍රමාණත්වය.

ඔක්තෝබර් 1 වැනිදා මාලේ නුවරදී පැවැති 13 වැනි සාෆ් ශූරතා පාපන්දු තරගාවලියේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාව ගෝල 1–0කින් පරාජය කිරීමට සමත්ව තිබේ.
ඒ අනුවත්, මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේම පසු වන බැවිනුත් බංග්ලාදේශය වඩාත් ප්‍රබල තත්ත්වයකින් යුතුව ශ්‍රී ලංකාවට එරෙහිව මුහුණ දීමට අවස්ථාව උදා කරගෙන තිබේ.

මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත්, මෙම සිව් කොන් තරගාවලියේ අවසන් තරගයට අවස්ථාව උදා කරගැනීම මෙන්ම වසර 2018න් පසුව බංග්ලාදේශය ජාත්‍යන්තර පාපන්දු තරගයකදී පරාජයට පත් කරන පළමු අවස්ථාවත් එයම වනු ඇත.  ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව බංග්ලාදේශය දැන් 187 වැනි ස්ථානයේ පසු වේ. ශ්‍රී ලංකාවට එහි හිමි තැන 204යි.

මාලදිවයිනට එරෙහිව පැවැති මූලික වටයේ පළමු තරගය ගෝල 4–4කට ගෞරවනීය තත්ත්වයකින් සම කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.  ඒ වෙනුවෙන් හිමි එකම ප්‍රසාද ලකුණු ඇතිව ශ්‍රී ලංකාව හෙට දිනයේ බංග්ලාදේශයට එරෙහිව තරග වදියි. එහිදී විනාඩි 28කදී ගෝල හතරක් රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩක අහමඩ් වසීම් රසීක් මේ වන විට තරගාවලියේ වැඩිම ගෝලලාභියා බවට ද පත්ව සිටියි. මෙම තරගය ජය ගන්නේ නම්, මහින්ද රාජපක්ෂ කුසලාන තරගාවලියේ මූලික වටයේ එකම ජය වාර්තා කරමින් එහි අවසන් තරගයට පිවිසීමේ අවස්ථාවත් බංග්ලාදේශයට උදා වී තිබේ.

මාලේ නුවරදී නිමාවට පත්වූ 13 වැනි සාෆ් ශූරතා පාපන්දු තරගාවලියේ සත්කාරය දැරූ මාලදිවයින එහි හිටපු ශූරයන් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල වෙත ළඟා වීමට අපොහොසත් විය.
මෙම තත්ත්වය නිසා ළඟ ළඟම යෙදී තිබෙන තවත් ජාත්‍යන්තර තරගාවලියකදී දස්කම් අතරට පිවිසීමට ඔවුන්ට තිබෙන වුවමනාව පැහැදිලිය. ඒ සඳහා ඔවුන්ට ලැබී තිබෙන මෙම තීරණාත්මක අවස්ථාවේදී ෂීසෙල්ස් කණ්ඩායම පරාජය කිරීමට සියලු උපායන් ක්‍රියාවට නංවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

අප්‍රිකානු රාජ්‍යයක් වන ෂීසෙල්ස් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතරේ පසුවන්නේ, 199 වැනි ස්ථානයේය. නමුත් මාලදිවයින වඩාත් ඉහළ ස්ථානයක පසු වේ. ඔවුන්ට ලෝක ශ්‍රේණිගත කිරීම්හි හිමි ස්ථානය 156 යි.

ජාත්‍යන්තර පාපන්දු තරගාවලියකදී ශ්‍රී ලංකාව අවසන් වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇත්තේ, වසර 2006 කොළඹදී පැවැති සාෆ් ක්‍රීඩා උළෙලේදීය. එම තරගයේදී පාකිස්තානය හමුවේ  ගෝල 1–0 කට පරාජය වූ ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි විය. කෙසේ වුවත් වසර 2004 සිට සාෆ් ක්‍රීඩා උළෙලේ පාපන්දු පිරිමි තරගාවලියට සහභාගි කරගන්නේ වයස 23න් පහළ ජාතික කණ්ඩායම්ය.

කාර්ය බහුල වසරක් ගෙවන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෙම වසරේදී මුහුණ දෙන නව වැනි ජාත්‍යන්තර තරගය මෙයයි. එහිදී ශ්‍රී ලංකාව කිසිදු ජයක් ලබා නොමැති වුවත් ඉන්දියාවට හා මාලදිවයිනට එරෙහිව පැවැති තරග දෙකක් සම කර තිබේ.

කෙසේ වෙතත් මෙම තරග 9 දී ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 15ක් රැස් කර තිබේ. ප්‍රතිවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාව එහිදී ගෝල හයක් ලබා තිබේ. මෙම ගෝල හයම වාර්තා කර ඇත්තේ, අහමඩ් රසීක් වසීම් වීම කැපී පෙනේ.


අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව් කොන් පාපන්දු තරගාවලියේ නොවැම්බර් 16 වැනිදා වන විට ප්‍රසාද ලකුණු සටහන


අදහස් (0)

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගය තීරණාත්මකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.