Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාව හා චීන - තායිපේ අතර ආසියානු කුසලාන පාපන්දු (2027) නිර්දේශ සපිරීමේ තෙවැනි වටයේ තරගය අද (10) පස්වරු 3.45 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහි ඩී කාන්ඩයේ තරගයක් ලෙස එය පැවැත්වෙන අතර වසර 2026 මාර්තු මාසය අවසන් වන තෙක් ශ්‍රී ලංකාව ඒ යටතේ ප්‍රතිවාදීන් තිදෙනෙකු සමග තරග හයකට සහභාගිවීමට නියමිතය.
පසුගිය මාර්තු 25 වැනිදා බැංකොක් නුවරදී පැවැති ඉහත තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1 - 0 ක පරාජයක් ලැබීය. එහි ඉදිරියට යමින් 2027- රියාද් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව මෙම ඩී කාන්ඩයේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභියා බවට පත් විය යුතුය.
අද කොළඹදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එහි නිත්‍ය පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතාගේ සේවය අහිමිවී තිබේ.ඒ පෙර සදහන් තායිලන්තය සමග පැවැති තරගයේදී ඔහු විනිසුරුට එරෙහිව හැසිරීමේ චෝදනා ලබා තහනමට ලක්වීමයි.
තායිලන්තය එහිදී ජය වාර්තා කළ ගෝලය ලකුණක් නොවන බවට ඔහු එහිදී විනිසුරු සමග මතභේද ඇති කර ගැනීම හේතුවෙන් ඔහුට රතු කාඩ් පත පෙන්වා පිටියෙන් පිටමන් කිරීමට විනිසුරු එහිදී කටයුතු කළේය. ඒ අනුව එතැන් සිට ඔහුට ආසන්නයේම යෙදෙන තරගයට සහභාගිවීමද තහනම් වේ.
ඊයේ (9) පාපන්දු නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා පුහුණුකරු අබ්දුල්ලා අල් මුතායිරි මහතාගේ සේවය අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවීම අඩුවක් කර නොගන්නා බව පැවැසීය.
" ඔහු සීමා ඉරෙන් එහා ඉදිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරාවි. එයත් අපට තරගයේ ඉදිරියට යන්න ශක්තියක් වේවි" යයිද එහිදී සුජාන් පෙරේරා පැවැසීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අල් මුතායිරි මහතා පසුගිය ජූනි 5 වැනිදා පැවැති ආසන්නතම තරගය ජය ගැනීම තුළින් ශ්‍රී ලංකාවට වඩාත් විශ්වාසයෙන් යුතුව අද තරගයට මුහුණදීමේ හැකියාව ලැබී තිබෙන බව පැවැසීය.
අල් මුතායිරි මහතා මාධ්‍ය හමුවේදී මෙසේද පැවැසීය.
" 2024 වසර වගේම 2025 මේ දක්වා අපේ තරග ප්‍රතිපල දිහා බැලීමේදී අපේ ප්‍රගතිය මැන බැලිය හැකියි.අද තරගයත් ඒ අනුව බලනකොට අපිට දිනන්න තිබෙන අවස්ථාව ඉහළයි."
අද තරගයට සහභාගි වන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානයේත් චීන - තායිපේ 166 වැනි ස්ථානයේත් පසුවේ.
මෙම දෙරට 2003 - 2006 - 2008 හා 2009 යන වසර වලදී ජාත්‍යන්තර තරග බීමේ මුණ ගැසුණු අවස්ථා හතරකින් තුනකම ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටය.2008 දී දෙරට අතර තරගය 2 - 2 ක් ලෙස සමවී තිබේ. ඒ සෑම අවස්ථාවකදීම දෙරට මුණ ගැසී ඇත්තේ මෙවර මෙන්ම ආසියානු කුසලාන සුදුසුකම් තරග වට වලදීය.
කණ්ඩායම් නායකයා මෙන්ම එහි නිත්‍ය දැල් රකින්නාද වන 32 හැවිරිදි සුජාන් පෙරේරා අද සහභාගි වන්නේ සිය 57 වැනි ජාත්‍යන්තර පාපන්දු තරගයටයි. වෘත්තියමය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඔහු ට්‍රස්ට් ඇන්ඩ් කෙයා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි.
වසර 2024 හා 2025 මේ දක්වා චීන - තායිපේ ජාත්‍යන්තර පාපන්දු තරග නවයකට සහභාගිවී ඉන් ජය ගෙන ඇත්තේ තරග දෙකක් පමණි. සෙසු සියළුම තරග පරාජයවී තිබේ. මාර්තු 25 වැනිදා මෙම තරග වටයේ ඔවුන් මුහුණ දුන් පළමු තරගයෙන් තුර්ක්මෙනිස්ථානයට ගෝල් 2 -1 කින් පරාජයවී තිබේ.
තායිපේ කණ්ඩායම් නායක මැද පෙළ ක්‍රීඩක චෙන් පෝ ලියෑන්ග් කණ්ඩායමේ පළපුරුද්දෙන් මෙන්ම දක්ෂතා වලින්ද ඉහළින්ම පසු වන ක්‍රීඩකයායි. 36 හැවිරිදි ඔහු මේ දක්වා ජාත්‍යන්තර තරග 93 කට ක්‍රීඩා කරමින් ගෝල 25 ක් වාර්තා කර ඇත. එය එරට පාපන්දු ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්තා කර තිබෙන වැඩිම ජාත්‍යන්තර ගෝල ගණනයි.
චීන - තායිපේ දෙවතාවක්ම (1954 හා1958) ආසියානු ක්‍රීඩා පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ. තායිවාන් ජාතික චෙන් සින්ග් අන් මහතා ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරුයි. ස්පාඤ්ඤ ජාතික පුහුණුකරුවන් දෙදෙනකු කණ්ඩායමේ සහයක පුහුණුකරුවන් ලෙස සේවය කරති.
චීන - තායිපේ මෙම තරග වටය යටතේම 2026 මාර්තු 31 වැනිදා නැවැත වතාවක් කඕසියුන්ග් නුවරදී ශ්‍රී ලංකාව මුණ ගැසීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.