Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දුව නිසි බලධාරියකු අතට

පාපන්දුව නිසි බලධාරියකු අතට

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

2023 ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගේ නිල කාලය දින 80 කට සීමා විය. පාපන්දු ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බලන ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුර මුතුමාල මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අඟහරුවාදා (4) සිට පත්කර තිබේ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වෙන තුරු එහි නිසි බලධාරියා ලෙස කටයුතු කරන්නේ අනුර මුතුමාල මහතාය.

ලංකාදීප කළ විමසුමකදී මුතුමාල මහතා පැවැසුවේ මෙම පත් කිරීමේ ඇමැතිවරයාගේ මූලිකම අරමුණ වන්නේ දැනට ගැටලුවකට මුහුණ දී තිබෙන පාපන්දු මූලස්ථානයේ සේවක සේවිකාවන් හා නිලධාරීන්ට නිසි වැටුප් ගෙවා අවසන් කිරීම බවයි.

“නිලවරණය ගැන හිතන්නේ දෙවනුවයි. දැනට පාපන්දු ආයතනයේ උද්ගතවෙලා තිබෙන පරිපාලන ආරවුල් හමුවේ එහි සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක් වෙලා. මාර්තු මාසයේ හා අප්‍රේල් මාසයේ වැටුප් දෙකත් අපි සිංහල අළුත් අවුරුද්ද ලබන්න ඉස්සර වෙලා ගෙවීමට කටයුතු කරනවා“

“ඒ නිසා මගේ පළමු කටයුත්ත එයයි. නිලවරණය ගැන ඊළඟට හිතනවා“ යයි අනුර මුතුමාල මහතා පැවසීය.

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පාපන්දු තහනමක් පැනවීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළේය. පාපන්දු ආයතනයේ වත්මන් සභාපති ජේ. ශ්‍රී රංගා මහතා අධිකරණයේ ඔහුට එරෙහිව විභාග වෙමින් තිබෙන නඩුවක් හමුවේ ලබන මැයි 12 වැනිදා දක්වා රිමාන්ඩ් ගතකර තිබේ.

සර්වආගමික වතාවත් මැද වැඩ භාරගත් ජේ. ශ්‍රී රංගා මහතාගේ පාපන්දු ආයතනයේ කාලසීමාව තුළදී කිසිදු දේශීය තරගාවලියක් ක්‍රියාවට නැඟීමට නොහැකි විය.

වයස 16න් පහළ පාසල් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට එහිදී මුලින්ම කටයුතු කරන බව ජේ. ශ්‍රී රංගා මහතා පැවැසුවත් පසුගිය මාර්තු මාසයේ මුල පටන් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවේ. ඒ අතර ඔහුගේ කෙටි කාලයකට සීමා වූ පාලනය අසාර්ථකවීමට බලපෑ අනෙක් කාරණය වූයේ ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් ඔහු සමග පාපන්දු විධායක සභාවට තේරී පත්වූ නිලධාරීන් බහුතරයක් ඔහුට විරෝධය පළ කරමින් ඉල්ලා අස්වීමය.


අදහස් (0)

පාපන්දුව නිසි බලධාරියකු අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.