Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සංගම් 100 ක් හදන්න’යි ඇමති කියයි

පාපන්දු සංගම් 100 ක් හදන්න’යි ඇමති කියයි

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලීග (සංගම්) 100ක් දක්වා වැඩි කරන ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට උපදෙස් දී තිබේ. එහිදී දිවයින පුරා ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාවත් 1000 ක් දක්වා වැඩිකර ගැනීමට උනන්දු විය යුතු බව ද ඇමතිවරයා පෙන්වාදී තිබේ.

පාපන්දු සම්මේලනයේ ඉකුත්දා පැවති විධායක සභා රැස්වීමට පැමිණි ක‍්‍රීඩා ඇමැතිවරයා පාපන්දු ක‍්‍රීඩාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ඇතුළු විධායක සභිකයන් සමඟ සාකච්ඡ කළේය. එහිදී ක‍්‍රීඩා ඇමැතිවරයා පෙන්වාදී ඇත්තේ දැනට ක‍්‍රියාත්මක පාපන්දු ලීග ගණන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවය. රටේ පාපන්දු ක‍්‍රීඩාව වෙනුවෙන් පසුගිය කාලයේදී රුපියල් මිලියන 2665 කට අධික මුදලක්  අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් ලැබී තිබුණත් පාපන්දු ක‍්‍රීඩකයන්ට අඩු තරමින් වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමටවත් හිටපු නිලධාරීන් සමත් නොවීම කනගාටුවට කරුණක් බවත් එහිදී ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

ක‍්‍රීඩා ඇමැතිවරයා පාපන්දු විධායක රැස්වීමට සහභාගිවීම පිළිබඳව ”ලංකාදීප”ය කළ විමසුමකදී ඔහු  මෙසේද පැවසීය. පාපන්දු ලීග හා ක‍්‍රීඩා සමාජ  අලූතින් හදන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය මූල්‍යාධාර දෙන්න සූදානම්. ක‍්‍රීඩා සමාජ 25ක් එකතු කර ගන්න පුළුවන් ලීගයකට අපි ලක්ෂ පහක වාර්ෂික ආධාර මුදලක් දෙන්න සූදානම්. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වෘත්තීය මට්ටමට ගෙන ඒමේ පියවරක් ලෙස එහි එක් ක‍්‍රීඩකයකුට රුපියල් 50,000ක දීමනාවක් දෙන්නත් කටයුතු කරනවා. ඒ වගේම පාපන්දු ඇකඩමි 25 ක් දිවයින පුරා ස්ථාපිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

”මේ රටේ සියලූම පාපන්දු ක‍්‍රීඩා සමාජවලට පාපන්දු උපකරණ නොමිලේ ලබා දෙන්නත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් රැකියාවලින් ඉවත් කරලා පූර්ණකාලීනව පාපන්දු ක‍්‍රීඩාවේ යොදවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙහෙම නොකලොත් මාලදිවයිනට  ගෝල දහයේ ගණන්වලින් අපි පරදින එක වළක්වන්න බැරි බවයි අපි තේරුම් අරන් ඉන්නේ” යයිද කී‍්‍රඩා ඇමතිවරයා පැවසීය.
 


අදහස් (0)

පාපන්දු සංගම් 100 ක් හදන්න’යි ඇමති කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.