Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ව්‍යවස්ථාව මතක් වුණේ අරගලයෙන් පසුවයි

පාපන්දු ව්‍යවස්ථාව මතක් වුණේ අරගලයෙන් පසුවයි

editorial - 2022 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ජස්වර් උමාර් මහතා උනන්දු වූයේ රටේ පැනනැගුණු අරගලයෙන් පසුව බවත් ඔහුගේ උත්සාහය වූයේ නව ව්‍යවස්ථාව අමතක කර දමා දේශපාලන බලපෑම් යොදා ගනිමින් පාපන්දු ආයතනයේ  සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට බවත් එහි හිටපු උප සභාපති රංජිත් රුද්‍රිගු මහතා ඊයේ (28) කොළඹ පැවති මාධ්ය හමුවක දී පැවසීය.

ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ තහනමකට ලක්වීමේ අවදානමක් උද්ගතවීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ පැන නැගී තිබෙන කතා බහ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

රංජිත් රුද්‍රිගු මහතා ශ්‍රී ලංකා පාපන්දු (සම්මේලනයේ) හිටපු සභාපතිවරයකු වන අතර මීගමුව පාපන්දු ලීගයේ හා මීගමුව යූත් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරවල දීර්ඝ කාලයක් තිස්සේ සභාපති ධුර හොබවයි.

පසුගිය 2021 ජුනි 30 වැනිදා අවසන් වරට පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේ දී (2021-22) ජස්වර් උමාර් මහතා  සභාපති ධුරයට පත්වන විට රුද්‍රිගු මහතා එහි උප සභාපති ධුරයකට පත්විය.

කෙසේ වුවත් සභාපති ජස්වර් උමාර් මහතාගේ කටයුතු සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව පවසමින් ඔහු පසුගිය ජුනි මාසයේ සිට පාපන්දු ආයතනයේ විධායක සභාවේ ස්වාධීනව කටයුතු කරන බවට ලිඛිතව දැනුම් දුන්නේය.

මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසක් මැද රංජිත් රුද්‍රිගු මහතා මෙසේ ද පැවසීය.

‘‘අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ තහනමක් ශ්‍රී ලංකාවට පැනවුවහොත් ඊට වගකිව යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය හෝ වෙනත් පාර්ශවයක් නොවෙයි. එහි වගකීම ගත යුත්තේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මහතාමයි. ඔහු ජුනි 30 වැනිදා පත්වුණාට පස්සේ විධායක සභාවේ අපි ඉල්ලා හිටියේ එකම දෙයයි. ඒ අවුරුද්දක් තරම් වන මේ කෙටි කාලයේ වෙන දේවල් සියල්ල පැත්තක තියලා පාපන්දු ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා අනුමත කර ගන්න කියලයි.

ඒ සඳහා මා ඇතුළු විධායක සභාව උපරිම සහයෝගය පළ කළා. නමුත් ඒ කළ යුතු පළමු කටයුත්ත පැත්තකට දාලා ඔහු විධායක සභාව කිසිසේත් අනුමත නොකළ වියදම් දරමින් රුපියල් කෝටි 100ක් තරම් මුදල් නාස්තියක් රටේ පාපන්දු ක්‍රීඩාවේ නාමයෙන් විනාශ කළා.

එහෙම කෝටි ගණන් වියදම් කළත් ඔහු තනතුරු දරපු අවුරුද්දකට වැඩි කාලය තුළ දී ක්‍රීඩා සමාජයකට අඩු තරමින් පන්දුවක් ලබා දෙන්නටවත් ඔහුට නොහැකි වුණා.

ඔහු දැන් ‘ෆීෆා’ ‘ඒ.එෆ්.සි’ ආයතනවලට ලියලා නැති බියක් රටේ ඇති කරන්න හදනවා. ඒකෙ පළමු වගඋත්තරකරු ඔහුමයි. ඇත්තටම ඔහුට පාපන්දු නව ව්යවස්ථාව ගැන මතක් වුණේ රටේ පැන නැගුණ අරගලයෙන් පසුවයි.

මේ අරගලය නොවන්නට ඔහු අපේක්ෂා කළේ දේශපාලන බලපෑම් යොදා ගනිමින් නිලවරණයකින් තොරව අවුරුදු හතරක් සභාපතිකම් කරන්නයි. අරගලයෙන් පස්සේ තමයි ඔහුට පාපන්දු අළුත් ව්‍යවස්ථාවක් අනුමත කර ගන්න තියෙනවා කියලා සිහියට ආවේ.

මේ රටේ පාපන්දු ක්‍රීඩාව මේ තරම් පහළට ගියේ වෙන කිසි දෙයක් හින්දා නොවෙයි. පාපන්දු ආයතනයේ විධායක සභාවට පත්වුණු වැඩි දෙනෙකු පුරුදුවෙලා හිටියේ කට්ලස් පැටිස්වලට කට අරින්න විතරයි. ඒ අය රැස්වීමක් තිබෙන වෙලාවට ඇවිල්ලා කරන්නේ සභාපතිගෙ කට දිහා බලාගෙන ඉඳලා යන එක විතරයි.

ඔවුන්ට රටේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න කිසිදු යෝජනාවක් තිබ්බේ නෑ. රැස්වීම ඉවර වෙලා ප්‍රවාහන දීමනාව අරන් ගෙදර යන එක  තමයි ඔවුන් වැඩි දෙනකු කැමැත්තෙන් කළේ...

හැබැයි මම නියෝජනය කරපු විධායක සභාවේ හිටපු උප සභාපති කේ.පී.පී. පතිරණ මහතා වගේ කතා කරපු කීප දෙනෙකුත් හිටියා. පතිරණ මහතා අවසානයේ දී ජස්වර් උමාර් මහතාගේ මුහුණට කිව්වේ ‘සභාපති ඔයා ෆේල්’ කියලයි. අන්තිමේ අපි සියලු දෙනාටත් යස්වර් මහතා ගැන කියන්න ඉතිරි වුණේ ඒ කතාවම තමයි.

ක්‍රීඩා පනතේ නව රෙගුලාසි කීපයක් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව ගැටෙන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ගත්තොත් එහි ව්‍යවස්ථාවට අනුව පාපන්දු ආයතනයේ නිල කාලයක්  වසර හතරක් විය යුතු වෙනවා. නමුත් නව රෙගුලාසිවලට අනුව එය වසර දෙකකට සීමා වෙනවා.

මේ වගේ කාරණා කීපයක් නිසා රටේ ක්‍රීඩා නීතිය හා අන්තර් ජාතික ක්‍රීඩා නීතිය සමග ගැටෙනවා. නමුත් නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීම ප්‍රමාදවීම ගැන ජස්වර් මහතා බාහිර පාර්ශවවලට නගන චෝදනාව ඔහු ඇඟ බේරා ගැනීමට දරන හුදු උත්සහයක්. කෝප් කමිටුව ජස්වර් මහතාගේ පසුගිය පාලන කාලය ගැන නිගමන රැසක් ලබාදීලා තිබෙනවා.

මේ වගේ පාලකයින් තව අවුරුදු කීපයක් හිටියොත් බිලියන හයක් විතර වියදම් කරාවි. අන්තිමේ පාපන්දු ආයතනයත් උගස් තියලා රටෙනුත් ඔය කියන අය පැනලා යයි. භාණ්ඩාගාරික අපේක්ෂක ටී. සුතාකර් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.


අදහස් (0)

පාපන්දු ව්‍යවස්ථාව මතක් වුණේ අරගලයෙන් පසුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.