Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණය පරණ ක්‍රමයට

පාපන්දු නිලවරණය පරණ ක්‍රමයට

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවෙන්නේත් එහි පැරණි ව්‍යවස්ථාවට අනුව බැවින් එයින් පත්වන විධායක සභාවේ නිල කාලයත් වසරකට පමණක් සීමා වන බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා දින නියම කර ගැනීමටත් නිලවරණ කමිටුව නිර්දේශ කර ගැනීම සඳහාත් මෙම 11 වැනිදා පෙරවරු 10ට ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා තිබේ.

අභියාචනාධිකරණයේ දී ඇති කරගත් එකඟතාවය පරිදි පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණයෙන් මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවා තිබේ.

ලංකාදීපය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ විශේෂ මහ සභාව සඳහා පාපන්දු ආයතනයේ ලියාපදිංචි සියලු ලීග ආරාධනා ලබන බවත් නිලවරණයේ දී ඡන්දය හිමි ලීග තීරණය කෙරෙන්නේ නිලවරණ කමිටුව විසින් බවත්ය.

අවසන් වරට 2021 ජුනි 30 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ නිලවරණයේ පත්වූ විධායක සභාවේ නිල කාලයත් වසරකට සීමා විය. පාපන්දු ආයතනයේ ව්‍යවස්ථාවට අනුව එහි නිලවරණයේ දී පත් වන විධායක සභාවේ නිල කාලය වසරකට පමණක් සීමා වන  බව ඉතා පැහැදිලිව දක්වා ඇතැයි අමල් එදිරිසූරිය මහතා පවසයි.

පාපන්දු ආයතනයේ පැවැති 2021-22 නිල කාලය මෙම වසරේ ජූනි 30 වැනිදා වනවිට අවසන් වීමට නියමිතව තිබුණද ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන්  සහන කාලයක් ද තුළ එය පසුගිය අගෝස්තු 31 වැනිදා වනවිට පවත්වා අවසන් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් ජස්වර් උමාර් මහතාගේ සහභාපතිත්වයෙන් යුත් පැවැති විධායක සභාව හා නිලවරණයට තරග වදින තවත් පාර්ශ්ව කීපයක් අතර පසුගිය  කාලයේදී  උද්ගත වූ ආරවුල් තත්ත්වයන් මැද එය අවස්ථා කීපයක දී අත්හිටුවීමට සිදුවිය.

ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශය මෙම වසරට නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් වෙත ලබාදී තිබූ තුන් මසක සහන කාලය අවලංගු කිරීමෙන් පාපන්දු ආයතනයේ නිලවරණය කැඳවීම සංකීර්ණ මුහුණවරක් ගත්තේය.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කැඳවීමට ලබාදුන් එහි සහන කාලය අවලංගු කිරීමට ගත් තීරණය අභියෝගයකට ලක් කරමින් පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මහතා පැවරූ නඩුව අවසන් කිරීමට වගඋත්තරකාර හා පැමිණිලිකාර පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් අභියාචනාධිකරණය ඉකුත්දා කටයුතු කළේය.

 


අදහස් (0)

පාපන්දු නිලවරණය පරණ ක්‍රමයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.