Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු තහනමට මාස 05යි

පාපන්දු තහනමට මාස 05යි

editorial - 2023 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනම පනවා අදට (21) මාස පහක් සම්පූර්ණ වෙද්දී ශ්‍රී ලංකාව නොමැතිව 2023 සාෆ් පාපන්දු ශූරතා තරගාවලිය අද ඉන්දියාවේ ‘බැංගලෝර්’ නුවර දී ආරම්භ විය. එහි විශේෂත්වය 14 වැනි වතාවටත් මෙවර සංවිධානය කෙරෙන තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි නොවන පළමු අවස්ථාව මෙය වීමයි.

වසර 1995 දී ‘සාක් රන්’ කුසලාන ලෙස පැවැති මෙම තරගාවලිය ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව එයින් පසුව මෙතෙක් එය ජය ගැනීමට සමත් නොවීම ද කැපී පෙනෙන සිදුවීමකි.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට එය තහනම්වීම පමණක් නොව පළමු වතාවට දකුණු ආසියානු කලාපයෙන් බැහැර රාජ්‍යයන් දෙකක්ද ඊට ආරාධනා ලබා සහභාගි වීමයි.

කුවේට් හා ලෙබනනය එම රටවල් තුනයි. එහිදී ඊයේ බැංගලෝර් නුවර ‘ශ්‍රී කාත්තිරාවා’ ක්‍රීඩාංගණයේ දී පැවැති සමාරම්භක තරගයෙන් කුවේටය ගෝල 3-1කට නේපාලය පරාජය කරමින් ප්‍රසාද ලකුණු තුනක් ලැබීය.

අද රාත්‍රි 7.30ට පාකිස්ථානය හා ඉන්දියාව අතර තවත් සුවිශේෂි වූ තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණි. දෙවතාවක්ම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ තහනමට ලක්වූ (2017-18 හා 2021-22) පාකිස්ථානයට ඒ හේතුවෙන් පසුගිය තරගාවලිය ද (2021-මාලේ) අහිමිවිය. පාකිස්ථානය ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 195 හා ආසියානු ශ්‍රේණිගත කිරීම අනුව 43 වැනි ස්ථානයේ පසුවන අතර කෙසේ වුවත් මෙතෙක් සාෆ් ශූරතා කුසලාන දිනා ගැනීමට අපොහොසත්ව සිටින රාජ්‍යයකි.

මේ අතර ජනවාරි 21 වැනිදා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය පැනවූ තහනම ඉවත් කරවා ගැනීම සඳහා මෙතෙක් කිසිදු ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවේ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් නොවීමෙන් තත්ත්වය තව දුරටත් සංකීර්ණ වෙමින් පවතී.

ශ්‍රී ලංකා ජාතික  පාපන්දු කණ්ඩායමේ වත්මන් නායක සුජානි පෙරේරා ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු ප්‍රධානින්ට දෝෂාරෝපණය කළ ලිපියකින් ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමෙන් පසුව තමන් නිල වශයෙන් ජාතික කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වීම ප්‍රසිද්ධ කරන බවය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු මෙරට දූත පිරිසක් ප්‍රශ්නය සාකච්ඡා කර විසඳුමකට පැමිණීම සඳහා ස්විට්සර්ලන්තයේ ‘සුරිච්’ නුවර පිහිටි එම මූලස්ථානය බලා යාමට මේ වනවිට සැලසුම් සූදානම් කරමින් සිටින බවද වාර්තාවේ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෑත දී කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පවසා සිටියේ සිය අමාත්‍යංශයේ කරුණු දැක්වීම් ලිපිවලට මේ වනවිට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් සුබවාදී ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් එය ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ගොඩනැගෙන යහපත් වටපිටාවක් වන බවයි.

ජනවාරි 21 වැනිදා සිට පැනවී තිබෙන මෙම ජාත්‍යන්තර තරග තහනම හමුවේ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුව ලබාදෙන අරමුදල් මුළුමණින්ම අත්හිටුවා තිබේ. එහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ පැවැත්ම රඳා ඇත්තේ එම අරමුදල් මගින් වීමෙනි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 207 වැනි ස්ථානයේත් ආසියාවේ ශ්‍රේණිගත කිරීම් අනුව අවසන් (45) වැනි ස්ථානයේත් රැඳී සිටින තරම් තත්ත්වයකට මේ වනවිට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටී ඇත.

මේ අතර උද්ගත වූ පරිපාලන ආරාවුල් හමුවේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බාරයට ගෙන තිබේ. එහි මූලස්ථානයේ පරිපාලන ප්‍රධානියා ලෙස මේ වනවිට මුල්‍ය කළමනාකරු රවීන්ද්‍ර කහඳවල මහතා කටයුතු කරයි. 


අදහස් (0)

පාපන්දු තහනමට මාස 05යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.