Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පළාත් කණ්ඩායම් 8 ක් අතරේ පාපන්දු තරගාවලියක්
පාපන්දු

පළාත් කණ්ඩායම් 8 ක් අතරේ පාපන්දු තරගාවලියක්

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් පළමු වතාවට අන්තර් පළාත් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සැලසුම් කර තිබේ. එහි සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ තරගාවලිය ලබන ජනවාරි 22 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා පැවැත්වීම සඳහා මේ වන විටත් දින යොදා ගෙන තිබෙන බවයි.

උතුරුමැද හා වයඹ යන පළාත් ඒකාබද්ධ කරමින් එහිදී එකම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමෙන් මෙම පළාත් පාපන්දු තරගාවලිය කණ්ඩායම් අටකට සීමා වී තිබේ.

බස්නාහිර, නැගෙණහිර, උතුර, ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ යන පළාත්  කණ්ඩායම් වලට අමතරව උතුරු මැද හා වයඹ පළාත් වලින් ඒකාබද්ධ කණ්ඩායමක් තරගාවලියට සහභාගි වෙයි.

උතුරු සහ වයඹ පළාත් ඒකාබද්ධ කරමින් එක් කණ්ඩායමක් පමණක් ඉදිරිපත් කෙරෙන්නේ මෙම පළාත් දෙකටම ඇතුළත්ව තිබෙන්නේ පාපන්දු ලීග් (සංගම්) හතරක් පමණක් බැවිනි.  පළාත් කණ්ඩායම තෝරාගැනීම  පැවරෙන්නේ සිය බල ප්‍රදේශයට අයත් පාපන්දු ලීග වෙතය.

ගාල්ල පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටිය, රත්නපුර සීවලී ක්‍රීඩාංගනය, බදුල්ල වින්සන්ට් ඩයස් පිටිය, යාපනය අරියාලේ පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටිය, කුරුණෑගල මාලිගා පිටිය, මඩකළපුව මහජන ක්‍රීඩාංගනය ඇතුළු ක්‍රීඩාංගන ගණනාවකදී මෙම තරගාවලිය දිවා රාත්‍රි තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇතැයි පාපන්දු ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ පිළිබඳව ඔහු මෙසේද පැවැසීය. ‘‘මෙම තරගාවලියේ අරමුණ ගමේ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන්නයි. මේ තරගවලියෙන් හඳුනා ගන්නා දක්ෂයන් ජාතික පුහුණු සංචිතයට කැඳවා ගෙන එන්නත් තවත් ක්‍රීඩකයන් පිරිසක් අළුතෙන් ආරම්භ කරන ජාතික ‘බී’ පාපන්දු සංචිතයට නිර්දේශ කරන්නත් අපේක්ෂා කරනවා.’’ යයිද ජස්වර් උමාර් මහතා පැවසීය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සඳහා සියලු වියදම් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයෙනි.
විසින් සිදු කරයි. කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් නිර්දේශ කිරීම පාපන්දු ආයතනය විසින් සිදු කෙරේ.

අවසන් පූර්ව වටයේ තරග හා අවසන් මහ තරගය පැවැත්වෙන ස්ථාන ඒ සඳහා නිර්දේශ වන කණ්ඩායම් මත තීරණය කෙරේ.

මෙම තරගාවලියට තෝරා ගනු ලබන ක්‍රීඩකයන්ට, තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ගෙවීමක් කෙරේ. ශූරතාව දිනාගන්නා කණ්ඩායමට පොදු ත්‍යාගයක් දෙනු වෙනුවට ක්‍රීඩකයන්ට වෙන වෙනම මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට දැනට සැලසුම් කර තිබේ.

 


අදහස් (0)

පළාත් කණ්ඩායම් 8 ක් අතරේ පාපන්දු තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.