Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩක්සන් ෆියුස්ලාස් අකාලයේ සමුගනී

ඩක්සන් ෆියුස්ලාස් අකාලයේ සමුගනී

editorial - 2022 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයකු වන ඩක්සන් ෆියුස්ලාස් සෙනසුරාදා (26 වැනිදා) මාලදිවයිනේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට 31 වැනි වි‍යේ පසුවූ ඔහු මාලදිවයිනේදී පැවැත්වෙන දිවෙහි ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේදී වැලන්සියා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා ක‍රමින් සිටියේය.

මාලදිවයිනේ මාධ්‍ය වාර්තාවලට අනුව, කිසියම් අබාධ තත්ත්වයක් හේතුවෙන් ඩක්සන්, සෙනසුරාදා පැවැති දිවෙහි ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය වෙනුවෙන් වැලන්සියා ක්‍රීඩා සමාජය සහභාගි වූ තරගයට ක්‍රීඩා කර නොමැත. ඩක්සන් නවාතැන්ගෙන සිටි නිවසේදී ඔහුගේ මළ සිරුර හමුවී තිබේ. කෙසේ වෙතත් මරණයට හේතුව තවමත් සොයාගෙන නැත.

මාලදිවයින් පොලිසිය මෙම මරණය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටියි.

වසර 1990 ‍අප්‍රේල් මස 14 වැනිදා මන්නාරමේදී උපත ලද යෝගේන්ද්‍රන් ඩක්සන් ෆියුස්ලාස්, 2018 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළේය. වසර ගණනාවක් නිව් යංග්ස්, සහ ‍කොළඹ පාපන්දු සමාජ නියෝජනය කළ ඔහු 2020 වසරේදී මාලදිවයින් ක්‍රීඩා සමාජයක් වන ටී.එස්. ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත විය.

 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු තරග 21 කට ක්‍රීඩා කළ ඩක්සන්, ඉකුත් වසරේ (2021) ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ වීරයා බවටද පත්විය. එහිදී දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වූ ඔහු එම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මනා දායකත්වයක් දැක්වීය.

 ඩක්සන් අවසන් වරට ක්‍රීඩා කළ මාලදිවයිනේ වැලෙන්සියා ක්‍රීඩා සමාජය මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු ආයතනයද මෙම අකල් මරණය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිතමිත්‍රාදීන්ට ශෝකය පළකරමින් නිවේදන නිකුත් ක‍ර තිබිණ.


අදහස් (0)

ඩක්සන් ෆියුස්ලාස් අකාලයේ සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.