Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජස්වර් පාර්ශවයේ නාමයෝජනා 13 ටම විරෝධතා

ජස්වර් පාර්ශවයේ නාමයෝජනා 13 ටම විරෝධතා

editorial - 2023 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

සැප්තැම්බර් 29වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2023–27) සඳහා සභාපති අපේක්‍ෂක ජස්වර් උමාර් මහතාගේ පාර්ශවය ඉදිරිපත් කළ නාමයේජනා 13 ටම විරෝධතා ගොනු කිරීමට ප්‍රතිවාදී සභාපති අපේක්‍ෂක දක්‍ෂිත සුමතිපාල මහතාගේ පාර්ශවය කටයුතු කර තිබේ.
 
පාපන්දු ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා සඳහා විරෝධතා භාරගැනීම ඊයේ (3) අවසන් කෙරුණි. කෙසේ වුවත් සභාපති අපේක්‍ෂක දක්‍ෂිත සුමතිපාල මහතාගේ නාමයෝජනා ඇතුළුව එම පාර්ශවයේ නාමයෝජනා පහක් මේ වනවිටත් ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව කටයුතු කර තිබේ.

මෙවර පාපන්දු නිලවරණයට නාමයෝනා භාර දුන් පාර්ශව දෙක එකිනෙකාට එරෙහිව විරෝධතා ගොනු කිරීමට උනන්දුවීම තුළින් සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත පාපන්දු ආයතනයේ නිලවරණය ව්‍යාකූල තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.

ඊට හේතුව දක්‍ෂිත සුමතිපාල පාර්ශවය සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට වුවද  යාමට පසුබට නොවන බවට මේ වනවිට කර තිබෙන ප්‍රකාශයයි.

දක්‍ෂිත සුමතිපාල මහතා මේ වනවිටත් සිය නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නිලවරණ කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

සභාපති අපේක්‍ෂක ජස්වර් උමාර්, ඔහුගේ උප සභාපති වන රංජිත් රුද්‍රිගු හා වෛද්‍ය මතිල් ප්‍රනාන්දු යන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ඇතුළුව එම පාර්ශවයෙන් විධායක සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා 13ටම එරෙහිව විරෝධතා ගොනු කිරීමට දක්‍ෂිත සුමතිපාල මහතාගේ පාර්ශවය කටයුතු කර තිබේ.

වෛද්‍ය මතිල් ප්‍රනාන්දු හා අනුරාධපුරය පාපන්දු ලීගයේ හිටපු සභාපති සාගර පියතිලක යන මහත්වරුන් ද අසුන්ගෙන සිටි, පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී ජස්වර් මහතා පැවසුවේ පාපන්දු නිලවරණයේදී සිය පාර්ශවයට ජය නොදීම සඳහා කිසිවකු තමන්ගෙන් රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ඉල්ලා සිටි බවයි.
 
‘‘මේ මුදල රුපියල් ලක්‍ෂ හයේ සිට දැන් රුපියල් 20,000ක් දක්වා අඩු කරලා ඉල්ලනවා. අපි මේ ගැන ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න දැනටමත් නීති උපදෙස් ලබා ගනිමින් සිටිනවා.
 
දහ දෙනකුගෙන් කල්ලියකට රටේ පාපන්දු ක්‍රීඩාව ගැන තීරණය කරන්න ඉඩදීම කිසිසේත් යුක්ති සහගත නෑ. රටේ පාපන්දු ක්‍රීඩාවට පැන වූ අන්තර් ජාතික තහනම ඉවත් කරගන්න මාත් රංජිත් රුද්‍රිගු හා වෛද්‍ය මතිල් ප්‍රනාන්දු යන මහත්වරු පරීක්‍ෂණ කීපයක්ම කළා. මෙසේ තිබියදී ශ්‍රී ලංකාව නැවත අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ උදහසයට ලක් කරන්නයි මේ පිරිසටදැන් උවමනා වෙලා තිබෙන්නේ.
 
මේ කුමන්ත්‍රණය අවසන් කරන්න රටේ පාපන්දු ක්‍රීඩාවට හිතැති සියළු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා’’ ජස්වර් උමාර් මහතා පැවසීය.
 
මෙම මාධ්‍ය හමුව ඇමතූ වෛද්‍ය මතිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහනය කඩාකප්පල් කිරීමට ප්‍රතිවාදී පාර්ශවයක් දරන උත්සාහය ගැන කනගාටුවට පත්වන බවයි.
 
එහිදී ඔහු මෙසේද පැවසීය.

‘‘දැන් කුණු ඇද ඇද ඉන්න වෙලාවක් නෑ. හැමෝම ප්‍රශ්නය තේරුම් අරගෙන වැඩ කළ යුතුයි. අපේ පාර්ශවයට අවම ලීග් 58ක සහය දැනටමත් පළවෙලා අවසන්. නාමයෝජනා 13ට අපේක්‍ෂකයන් 10 දෙනෙක්වත් හොයා ගන්න බැරි පාර්ශවයක් මේ සිදුවීම් පිටුපස ඉන්නවා. මේ කුමන්ත්‍රණයට හසු නොවන ලෙස රටේ සියළු පාපන්දු පාර්ශව වෙතින් ඉල්ලා සිටිනවා.’’


අදහස් (0)

ජස්වර් පාර්ශවයේ නාමයෝජනා 13 ටම විරෝධතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.