Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කෝපා කුසලාන ආර්ජන්ටිනාවට

කෝපා කුසලාන ආර්ජන්ටිනාවට

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලිය පුරා අපරාජිතව සිටි බ්‍රසීලයට එරෙහිව  පැවැති අවසන් මහ තරගය ගෝල 1-0 ක් ලෙස ජයගත් ආර්ජන්ටිනාව දකුණු (කෝපා) ඇමරිකානු පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. රොඩ්රිගෝ ද පෝල්ගේ සහයෝගයෙන් තරගයේ 22 වැනි විනාඩියේදී ඒන්ජල් ඩි මරියා ආර්ජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත්තේය.

ආර්ජන්ටිනාවේ වේලාවෙන් සෙනසුරාදා පැවැති අවසන් මහ තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉරිදා (11 වැනිදා) අලුයම පැවැත්විණ.
 
ආර්ජන්ටිනාව දකුණු ඇමරිකානු පාපන්දු ශූරතාව දිනාගත් 15 වැනි අවස්ථාව මෙයයි. මෙම ශූරතාවත් සමග එදා මෙදා තුර දකුණු ඇමරිකානු පාපන්දු ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන කණ්ඩායම ලෙස උරුගුවේ (15) සමග සම වීමටද ආර්ජන්ටිනාවට හැකි විය.  ශූරතා 15 ට අමතරව අනු ශූරතා 14 ක් සහ තෙවැනි ස්ථාන 5 ක් හිමිකර ගැනීමටද ආර්ජන්ටිනාව සමත්ව සිටියි.

ආර්ජන්ටිනාව අවසන් වරට දකුණු ඇමරිකානු පාපන්දු ශූරතාවට ජය‍ගෙන තිබුණේ 1993 වසරේදීය. ඉන් අනතුරුව තරගාවලි  4 කදී (2004, 2007, 2015 සහ 2016) එහි අනු ශූරතා‍වයෙන් සහ එක් අවස්ථාවකදී (2019) තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්ව සිටි ඔවුන් මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේ වසර 28 කට පසුවය.  

මින් පෙර අවස්ථා 5 කදී පිට පිටම දෙවරක් බැගින් (1927-1929, 1945-1946, 1946-1947, 1957-1959 සහ 1991-1993) දකුණු ඇමරිකානු ශූරතාව දිනාගැනීමට සමත්ව සිටි ආර්ජන්ටිනාව, එක් අවස්ථාවකදී පිට පිටම තෙවරක් (1945-1946-1947) එම ශූරතාව තමන් සතු කරගෙන තිබිණ.

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ නායකත්වය යටතේ ආර්ජන්ටිනාව ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියක් ශූරතාව දිනූ පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් වේ. මේ වන විට 34 වැනි වියේ පසුවන මෙසී, ආර්ජන්ටිනාව නියෝජනය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලි 4 කට සහ දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලි 6 කට සහභාගි විය. එහෙත් ඔහුට ඉන් එක් තරගාවලියකදී හෝ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලය සහ එහි 8 වැනි ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාව, දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වැදුණ 11 වැනි අවස්ථාව මෙය විය. මින් පෙර පැවති අවසන් මහ තරග 10 න් 8 ක ජය ආර්ජන්ටිනාවටද, 2 ක ජය බ්‍රසීලයටද හිමිවී තිබිණ.

 අවසන් වරට පැවැති (2019) තරගාවලියේ ශූරතාවද සමගින් ශූරතා 9 කට හිමිකම් කියූ බ්‍රසීලය, මින් පෙර අනු ශූරතා 11 ක් සහ තෙවැනි ස්ථාන 7 ක් හිමිකර ගෙන සිටියේය. කෙසේ වුවත් මෙවර අවසන් තරගයේදී ආර්ජන්ටිනාව හමුවේ ලද පරාජයත් සමග තරගාවලිය පුරා අපරාජිතව සිටි බ්‍රසීලයට තවත් අනු ශූරතාවකින් සෑහීමකට පත්වීමට සිදුවිය.  

මෙවර අවසන් තරගයේදී ආර්ජන්ටිනා ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 19 ක්ද, බ්‍රසීල ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 22 ක්ද සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ජන්ටිනාව කහ පැහැති කාඩ් පත් 5 ක්ද, බ්‍රසීලය කහ පැහැති කාඩ්පත් 4 ක් ලැබූහ. තරගය පුරා දෙපිලම දැල ඉලක්ක කර ගනිමින් පහර 2 බැගින් එල්ල කළහ.

පළමු අවසන් පූර්ව තරගයේදී ගෝල 1-0 ක් ලෙස පේරු රාජ්‍යය පරාජය කරමින් බ්‍රසීලය තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ආර්ජන්ටිනාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගය ගෝල 1-1 ක් ලෙස සමවීමෙන් අනතුරුව දඬුවම් පහර 3-2 ක් ලෙස කොලොම්බියාව පරාජය කරමිනි.

මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘බී’ කාණ්ඩයේ ශූරයන් ලෙස බ්‍රසීලය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී චිලි රාජ්‍යයට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලබමිනි.

ආර්ජන්ටිනාව මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි‍යේ මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙසිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී ඉක්වදෝරයට එරෙහිව ගෝල 3-0 ක ජයක් ලබමින් ඔවුහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  

-036


අදහස් (0)

කෝපා කුසලාන ආර්ජන්ටිනාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.