Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කෝටි 100 ක පාපන්දු වියදම් ගැන විමර්ශනයක්

කෝටි 100 ක පාපන්දු වියදම් ගැන විමර්ශනයක්

editorial - 2023 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය වසරක කාලය තුළදී (2021-22) සිදුකළ වියදම් හා ලැබුණු ආදායම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට එහි නව විධායක සභාව තීරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මතභේදයට තුඩුදී ඇති පසුගිය කාලයේ වියදම් සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරීම සඳහා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් කමිටුවක් පත්කර ඇතැයි වාර්තාවේ. එය මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීම් සම්බන්ධයෙන් ඇමතිවරයා පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන කමිටුව හා සමාන තත්ත්වයක් ගන්නා බවද වාර්තා වේ.

පාපන්දු ආයතනයේ 2021 ජුනි 30 වැනිදා සිට පසුගිය 2022 සැප්තැම්බර් 22වැනිදා දක්වා සභාපතිවරයා ලෙස එහි විධායක සභාවේ මුලසුන හෙබවූයේ යූ.එල්. ජස්වර් උමාර් මහතාය.

එකී කාලය තුළදී පාපන්දු ආයතනයේ වියදම් රුපියල් කෝටි 100ක් ඉක්මවා ගිය බව වාර්තා පළ විය. නමුත් එම වියදම් වාර්තා ප්‍රතික්ෂේප කරන හිටපු සභාපති  ජස්වර් උමාර් මහතා වියදම් ඉහළයාමට හේතුව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළයාම බව පවසයි.

මේ අතර සිය  පාලන  කාලයේ වියදම් පවත්වන්නේ නම් තමා ඊට එකඟ බවත් එහිදී පාපන්දු ආයතනයේ තමන්ට පෙර පැවැති අවම වසර දෙකක පාලන කාලයට අයත් වියදම් සම්බන්ධයෙන්ද එම විමර්ශනය පවත්වාගෙන යා යුතු බවත් ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පවසයි.

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේ පාපන්දු ආයතනයේ සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා  වෙත ජනවාරි 29 වැනිදා දාතමින් ලිපියක් යොමු කරන මීගමුව පාපන්දු ලීගයේ සභාපති, පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු ද වන රංජිත් රුද්‍රිගු මහතා කරුණු 36 ක් සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු කර තිබේ.

ඉදිරි මාස පහකට පමණක් සිමාවන පාපන්දු ආයතනයේ වත්මන් සභාපතිවරයාගේ දැක්ම කෙබඳු ස්වරුපයක් ගන්නේ දැයි ඔහු එමගින් විමසා තිබේ.

මෙම දීර්ඝතම ලිපිය යොමු කරමින් ආගාධයට වැටී තිබෙන රටේ පාපන්දු ක්‍රිඩාව නැංවීමට ගන්නා කෙටි කාලීන ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර තරග තහනම ඉවත් කරවා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මෙන්ම මතභේදයට තුඩුදී තිබෙන පසුගිය පාලන සමයේ වියදම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනත් ජේ. ශ්‍රී රංගා මහතාගෙන් විමසා තිබේ.

හිටපු සභාපති යූ.එල්. ජස්වර් මහතාගේ විධායක සභාවේ හිටපු උප සභාපතිවරයකු ද වන රංජිත් රුද්‍රිගු මහතා ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේ දී ජේ. ශ්‍රී රංගා මහතාට සහය දැක්වීය.

මේ අතර පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා මහතා එහි ප්‍රධාන පරිපාලන නිලධාරි තනතුරට පත් කිරීමට මේ වනවිට තීරණය කර ඇතැයිද වාර්තා වේ. ඔහු මීට පෙර යෝජනාවී තිබුණේ පාපන්දු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරටය.

ඔහු වැඩ බාර ගැනීමෙන් පසුව පාපන්දු ආයතනයේ  ඉදිරි  කටයුතු සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මේ අතර ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට  පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තරග තහනම ඉවත් කිරීම ගැන කරුණු සලකා බලන්නේ තමන් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි තුනක් ක්‍රියාවට නැගීමෙන් පසුව පමණක් බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැඩිව  අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත් කළ කරුණු දැක්වීමේ ලිපිවලට අන්තර්ජාතික  සම්මේලනය ප්‍රතිචාර දක්වා නැත.


අදහස් (0)

කෝටි 100 ක පාපන්දු වියදම් ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.