Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ නගර සභා ලීගයේ ඡන්දය රෝසි අතට ගනී

කොළඹ නගර සභා ලීගයේ ඡන්දය රෝසි අතට ගනී

editorial - 2022 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2022-23) සංකීර්ණ මුහුණුවරක්  ගැනීමේදී කොළඹ මහ නගර සභාවට අයත් ක්‍රීඩා භූමි  (ප්ලේ ග්‍රවුන්ඩ්) පාපන්දු ලීගයේ ඡන්දය තමා විසින්ම ප්‍රකාශ කිරීමට කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ගෙන තිබෙන තීරණය මේ වනවිට පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමුව තිබේ.

දිවයිනේ පාපන්දු ලීග 56ක සහභාගිත්වයෙන් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පාපන්දු ආයතනයේ නිලවරණය පැවැත්වේ. ඒ සඳහා හිටපු සභාපති ජස්වර් උමාර් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා යන මහත්වරුන් ප්‍රධාන පාර්ශ්ව දෙකෙන් තරග වදින අතර ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයෙන් ඔහුට සහය පළ කරමින් තවත් අපේක්ෂකයන් තිදෙනකු නාමයෝජනා බාරදී තිබේ.

දිවයිනේ නගර සභාවකට අයත් එකම පාපන්දු ලීගය වන්නේද කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා භූමි හා විනෝදාංශ දෙපාර්තමේන්තුව නියෝජනය කරන ලීගයයි.

මෙතෙක් පැවති ක්‍රමවේදයට අනුව ක්‍රීඩා භූමි  ලීගයට පාපන්දු නිලවරණයේදී හිමි මනාප (ඡන්ද) ප්‍රකාශ කිරීම සිදු කළේ එම ලීගයේ එතෙක් කටයුතු කරමින් සිටින සභාපති, ලේකම් හා භාණ්ඩාගාරිකවරයා හෝ ඔවුන්ගේ අයෙකි.

කෙසේ වුවත් පාපන්දු ආයතනයේ මෙවර පැවැත්වෙන නිලවරණයේදී කැපී පෙනෙනම වෙනස්කම වන්නේ ඡන්ද ඒකකයකට.(ලීගයකට) හිමි ඡන්ද ගණන එකකට සීමා කිරීමයි. මේ දක්වා එය ඡන්ද තුනක් ලෙස ක්‍රියාත්මක විය.

ඒ අනුව කොළඹ මහ නගර සභාවට අයත් ක්‍රීඩා භූමි  ලීගයට හිමි මනාපය තමා විසින්ම ප්‍රකාශ කරන බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පුරපතිනි රෝසි සේනානායක මහත්මිය එහි නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව පාපන්දු නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන සිය නිත්‍යානුකූල නියෝජිතයා ලෙස මීට පෙර ප්‍රකාශ වූ නියෝජිතයා ඉවත් කරමින් මේ වනවිටත් නව නියෝජිතයා ලෙස රෝසි සේනානායක මහත්මියගේ නම ඇතුළත් කර තිබේ.

ඒ පිළිබඳව පාපන්දු ආයතනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා  පැවසුවේ කොළඹ පුරපතිනිය පාපන්දු නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම දේශපාලන බලපෑමක් මත සිදුවන්නක් බවයි. මේ අන්දමට පාපන්දු ලීග ගණනාවක ඡන්ද නියෝජිතයන්ට බලපෑම් එල්ලවෙමින් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

කොළඹ නගර සභා ලීගයේ ඡන්දය රෝසි අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.