Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කන්ජුරුහාන් ඛේදවාචකයේ මරණ 174 යි

කන්ජුරුහාන් ඛේදවාචකයේ මරණ 174 යි

editorial - 2022 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝපයට පත් ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් ඉන්දුනීසියාවේ මලැන්ග් නගරය ආසන්නයේ පිහිටි කන්ජුරුහාන් ක්‍රීඩාංගණයට කඩාවැදීම නිසා ඉන්දුනීසියානු පොලීසිය කඳුළු ගෑස් ගැසීය. එයින් ඇතිවූ තෙරපීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 174 දෙනෙකු මිය ගිය බව ඉන්දුනීසියානු බලධාරීහු ප්‍රකාශ කරති. 

සෙනසුරාදා රාත්‍රියේ මලන්ග් නගරයේ සිදුවූ මෙම ඛේදවාචකය හේතුවෙන් 180 දෙනෙකුට තුවාල සිදුවිය. එය ලෝකයේ වඩාත්ම මාරාන්තික ක්‍රීඩාංගණ ව්‍යසනයන්ගෙන් එකක් ලෙසින් වාර්තා වේ. 

සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන ‘පර්සෙබයා සුරබයා’ පිල හමුවේ සත්කරක කණ්ඩායම වූ කන්ජුරුහාන් හි ‘අරේමා’ පාපන්දු සංගම් කණ්ඩායම 3-2 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔවන්ගේ ආධාරකරුවෝ ක්‍රීඩාංගණයට කඩා වැදුණහ. කන්ජුරුහාන් ආධාරකරුවන් පරාජයේ වේදනාවෙන් මුසපත්ව සිටි නමුත් එය ”කෝලාහලයක්” ලෙස විග්‍රහ කළ පොලිසිය, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 

මෙම සිදුවීමේදී නිලධාරීන් දෙදෙනෙකු ද මියගොස් තිබේ. 

වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් පාගා දමා හෝ ගෙල සිර කර මරා දැමූණු බව පොලිසිය පවසයි. අවම වශයෙන් පුද්ගලයින් 174 දෙනෙකු මිය ගිය බව නැගෙනහිර ජාවා නියෝජ්‍ය ආණ්ඩුකාර එමිල් ඩාර්ඩක් ඉරිදා දහවල් විකාශනය වූ රූපවාහිනී සේවයකට පැවසීය. කලින් වාර්තා වූයේ 129 දෙනෙක් මියගිය බවකි. 

දිවි ගලවා ගත් අය කීවේ තමන් වෙත කඳුළු ගෑස් වරුසාවක් පතිත වනවිට, ක්‍රීඩාංගණය පිරී ඉතිරී යාමට තරම් සිටි ප්‍රේක්ෂකයින් භීතියට පත් වූ බවත් එකිනෙකා තල්ලු කරමින් හෝ ක්‍රීඩාංගණයෙන් පිටතට යාමට ගත් උත්සාහයේදී වැඩිදෙනෙක් පෑගී, තැලී පොඩිවී මියගිය බවයි. 

“කිසිම දෙයක් වුණේ නැහැ, කෝලාහලයක් තිබුණේත් නැහැ”

“මම දන්නේ නැහැ මොකක්ද ප්‍රශ්නය කියලා, ඔවුන් හදිසියේම කඳුළු ගෑස් ගැහුවා. ඒකයි මාව කම්පනයට පත් කළේ.. ඔවුන් ළමයින්, කාන්තාවන් ගැන හිතුවේ නැද්ද ?” යයි නම සඳහන් කිරීමට අකමැති අයෙක් ප්‍රංශ පුවත් සේවයට පැවසීය. 

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ඛේදවාචකය පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කර තිබේ. සියලුම පාපන්දු තරඟ සඳහා ආරක්ෂක සමාලෝචනයක් මෙන්ම වැඩිදියුණු කළ ආරක්‍ෂක ක්‍රියාදාමයක් සකස් කර අවසන් වන තෙක් සියලුම තරඟ අත්හිටුවන ලෙස ඉන්දුනීසියාවේ පාපන්දු සංගමයට ජනාධිපතිවරයා නියෝග කළේය.

“මෙම ඛේදවාචකය ගැන මම දැඩි ලෙස කනගාටු වෙනවා. මෙම පාපන්දු ඛේදවාචකය අපේ රටේ අවසාන ඛේදවාචකය වනු ඇතැයි මගේ ඒකායන ප්‍රර්ථනාවත් වෙනවා” යයි ජනාධිපති විඩෝඩෝ පැවසීය.

රෝහල් අධ්‍යක්ෂවරයෙක් ප්‍රාදේශීය රූපවාහිනියට පැවසුවේ මියගිය අයගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු පහක් බවයි.

තෙරපීම අතරතුර ක්‍රීඩාංගනය තුළ සිට ගත් ඡායාරූපවලින් පෙනී ගියේ පොලිසිය විශාල කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ආකාරය සහ මිනිසුන් වැට උඩින් පැන යන ආකාරයයි. ඒ අවුල් සහගත තත්ත්වයේදීම වුවත්, ඇතැම් දෙනා තුවාල ලැබූ ප්‍රේක්ෂකයින් රැගෙන යමින් සිටියහ.

“එය ඉතා භයානක වගේම කම්පනයට පත්කරවන සිදුවීමක්” යයි මිතුරන් තිදෙනෙකු අහිමි වූ 22 හැවිරිදි සෑම් ගිලන්ග් ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ. 

“මිනිස්සු එක එකා තල්ලු කරගෙන.. පිටවීමේ ගේට්ටුව ළඟට යනකොට ගොඩක් අය පෑගුනා”

“කඳුළු ගෑස් නිසා මගේ ඇස් පිච්චිලා ගියා. මම වාසනාවකට වගේ වැට උඩට නැගලා බේරුණා,” යයි ඔහු පැවසීය.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ කැරලි මර්දන පළිහ සහ බැටන් පොලු අතැතිව සිටි පොලිසියට පාපන්දු ලෝලීන් අසභ්‍ය වචනයෙන් බැණවදින ආකාරයයි.

ඉරිදා උදෑසන පොලිස් ට්‍රක් රථයක් ඇතුළුව ගිනිබත් කරන ලද වාහන ක්‍රීඩාංගණයෙන් පිටත වීදිවල පෙනෙන්නට තිබුණි. පොලිසිය පැවසුවේ වාහන 13 කට හානි සිදුව ඇති බවයි.

මෙම ක්‍රීඩාංගනයේ පුද්ගලයින් 42,000 කට තරග නැරඹිය හැකි අතර බලධාරීන් පැවසුවේ ප්‍රවේශපත් සියල්ලම විකිණී අවසන් වී තිබුණු බවකි. එහෙත් 3000ක පිරිසක් ක්‍රීඩාංගණයේ තරග තණතිල්ලට කඩා වැදුණු බව පොලිසිය කියයි. 

ඉන්දුනීසියාවේ රසික ප්‍රචණ්ඩත්වය කල් පවතින ගැටලුවකි. ගැඹුරු එදිරිවාදිකම් හේතුවෙන් මීට පෙරත් මාරාන්තික ගැටුම් ඇතිවී තිබේ. පර්සෙබයා සුරබයා සහ කන්ජුරුහාන් කණ්ඩායම් දිගු කලක සිටම එකිනෙකා හා එදිරිව සිටිති. 

ප්‍රචණ්ඩත්වයට ඇති බිය නිසා පර්සෙබයා සුරබයා රසිකයින්ට තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවසර නොලැබුණි. රජය නිර්දේශ කර ඇත්තේ ප්‍රවේශපත්‍ර 38,000ක් පමණක් මුද්‍රණය කළ යුතු බවයි. එහෙත් ඒ වෙනුවට ප්‍රවේශපත් 42,000ක් අළෙවි වූ බවත් ඔහු පැවසීය.

ක්‍රීඩාංගනය තුළදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ඇයිද යන්න පිළිබඳව කළ විමසීමේදී ඉන්දුනීසියානු පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා කීවේ තණතීරුවට ඇතුළු වන ප්‍රේක්ෂකයින් නැවැත්වීමට යම් ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට සිදු වූ” බවයි

 


අදහස් (0)

කන්ජුරුහාන් ඛේදවාචකයේ මරණ 174 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.