දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු ෆුට්සාල් පාපන්දු තරගාවලියේ ඊයේ (24 වැනිදා) පැවැති තරගයකදී ගෝල 4-1 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 4-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වූ අතර දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝල ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තරගයේ ජය ඉන්දියාව සතුවිය. මොහොමඩ් සාජන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීවේය.
තරගයේ 3 වැනි, 10 වැනි සහ 12 වැනි විනාඩිවලදී ගෝල වාර්තා කළ ඉන්දීය ක්‍රීඩකයන් ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කළ අතර ශ්‍රී ලංකාව ගෝලයක් ලබාගත්තේ 19 වැනි විනාඩියේදීය. කෙසේ වුවත් පළමු අර්ධයේ අවසන් විනාඩියේදී තවත් ගෝලයක් ලබාගැනීමට සමත් වූ ඉන්දියානුවෝ තරගයේ සියලු ගෞරව හිමිකර ගත්හ.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ජූඩ් නිකලස් (10 වැනි විනාඩියේදී) සහ අහමඩ් රෂීඩ් (34 වැනි විනාඩියේදී) ද, ඉන්දීය ක්‍රීඩකයන් ජොනතන් ලල්රවන්ග්බව්ලා (25 වැනි විනාඩියේදී) සහ රීසා කෝඩි (30 වැනි විනාඩියේදී) ද නීති විරෝධී ක්‍රීඩා විලාශයන් හේතුවෙන් විනිසුරුගේ අවවාද සමග කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත්ව ගියහ.
මින් පෙර පැවැති තරගවලදී භූතානය සමග ගෝල 3-3 ක් ලෙස සමවූ ශ්‍රී ලංකාව, නේපාලය හමුවේ ගෝල 2-1 ක් ලෙසත්, පාකිස්තානයට හමුවේ ගෝල 5-2 ක් ලෙසත්, බංග්ලාදේශය හමුවේ ගෝල 5-1 ක් ලෙසත් පරාජයට පත් විය. මේ වන විට එක් ලකුණක් පමණක් ලබා සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සහභාගි වන අවසන් තරගය හෙට (26 වැනිදා) මාලදිවයිනට එරෙහිව පැවැත්වේ.
මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත්වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.