Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණයේ ඡන්ද 62ට අඩුකරන්න යයි

පාපන්දු නිලවරණයේ ඡන්ද 62ට අඩුකරන්න යයි

editorial - 2021 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2022 මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයේ දී එක් ලීගයට එක් ඡන්දයක් පමණක් හිමි වන ලෙස සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වේ. පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව වෙනස්  කර ගැනීමේ දී මතුවට බලපාන කරුණු අතර දැන් පවතින එහි විධායක සභාව උපරිම 16 කට සීමා කෙරේ. ජුනි 30 වැනිදාට පෙර පැවති පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සංයුතිය 28ක් විය.

දැනට පවතින ක්‍රමයට අනුව පාපන්දු සම්මේලනයේ නිලවරණයකදී එක් ප්‍රාදේශීය පාපන්දු ලීගයට ඡන්ද තුනක් බැගින් හිමි වේ. දැනට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි ලීග ගණන 62කි.
අවසන් වරට පසුගිය ජුනි 30 වැනිදා පැවති පාපන්දු නිලවරණයේ දී ලීග 62ක  ඡන්ද 186ක් බහුතර මනාපය තෝරා ගැනීම සඳහා යොදා ගැණුනි.

ඒ අනුව 2022 මැයි 31 වැනිදා වන විට දැනට පවතින පාපන්දු  ලීග ප්‍රමාණය වෙනස් නොවන්නේ නම් පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයේ දී මුළු ඡන්ද ප්‍රමාණයේ එකතුවක් 62කට සීමාවනු ඇත.

එක් ලීගයකින් පාපන්දු නිලවරණ සඳහා මනාප තුනක් සළකුණු කිරීමට මෙතෙක් නියෝජිතයන් තිදෙනෙකු සහභාගි වූ අතර සම්මේලනයේ නව ව්‍යවස්ථා සංශෝධනයේදී එක් ලීගයකට එක් ඡන්දයක් පමණක් සීමා කෙරේ. එය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලීගයේ ප්‍රධානියා හෙවත් සභාපතිවරයාට හිමි වනු ඇතැයි ද වාර්තා වේ.

මේ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ විධානයන්ට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයේ පටන් පාපන්දු සම්මේලනයේ නිල කාලයක් සිව් අවුරුද්දක් තෙක් බලපැවෙත්වනු ඇත.  පසුගිය ජුනි 30 වැනිදා නිමාවට පත් වූ අනුර ද සිල්වා මහතා සභාපතිත්වය දැරූ පාපන්දු සම්මේලනයේ නිල කාලය ද සිව් වසරක් දක්වා පවත්වා ගෙන ගියේය.

“ක්‍රීඩා පනතේ ජාතික ක්‍රීඩා සංගම් නව රෙගුලාසි ගැසට් කිරීමේ දී ජාතික ක්‍රීඩා සංගම්හි බලපැවැත්වෙන නිල කාලයත් සිව් වසරක් දක්වා පවත්වා ගෙන යාමට විධිවිධාන සළසා ඇත.“ යනුවෙන් දැක් වූ එම අර්ථකථනයට අනුව පාපන්දු සම්මේලනය ඇතුළු ප්‍රධාන පෙලේ ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක්ම එතැන් සිට සිය පාලන කාලය සිව් වසරත් දක්වා පවත්වාගෙන යාමට උනන්දු විය. සිය නිල කාලය වසර හතරක් දක්වා සංශෝධනය කර ගන්නේ නම් ජාතික ක්‍රීඩා සංගම් එය සිය ව්‍යවස්ථාවට අනිවාර්යෙන්ම අන්තර්ගත කළ යුතු අතරම ඒ සඳහා මහ සභාවක අනුමැතිය ලබාගත යුතුය.

කෙසේ වෙතත් පසුගිය ජුනි 30 වැනිදා කැඳවූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් පත් වූ විධායක සභාවේ නිල කාලය වසරකට පමණක් සීමා වේ.

පාපන්දු සම්මේලනයේ නිල කාලය පැහැදිලි කරන ලෙස ඉල්ලා එහි හිටපු සභාපතිවරයෙකු වන රංජිත් රුද්‍රිගු මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාට ඉතා මෑතක දී ලිපියක් යොමු කළේය.
එහිදී ඔහු පැහැදිලි කර තිබුණේ පාපන්දු සම්මේලනයේ පවතින ව්‍යවස්ථාවට අනුව එහි නිල කාලයත් වසරකට පමණක් සීමා වන බවයි.

පාපන්දු සම්මේලනය නිලවරණයෙන් පසුව පත් කෙරෙන අනු කමිටු 11ක ප්‍රධානින් ද විධායක සභාවේ අසුන් ගැනීම එහි සංයුතිය ඉහළ යාමට හේතුවකි. නිලවරණයෙන් දැනට පත්වන විධායක සභාවේ සභිකයන් ගණන 10කි. සභාපතිවරයාගේ අභිමතය පරිදි තවත් සභිකයන් තිදෙනකු පත් කිරීමේ අවස්ථාව හිමි වන අතර ඒ හැරෙන්නට විශේෂයෙන් පත් කෙරෙන කමිටු කීපයක ප්‍රධානීන්ට ද විධායක සභාවේ අසුන් ගැනීමේ අවස්ථාව දැනට ලැබී තිබේ.

පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ වත්මන් සංයුතිය කෝප් කමිටුවේ ද විවේචනයට ලක් වූ බැවින් එය අඩුකිරීමට තමත් උනන්දු වී සිටින බව ජුනි 30 වෙනිදා පැවැති නිලවරණයෙන් සභාපති ධුරයට පත් වූ ජස්වර් උමාර් මහතා පවසයි. කෙටුම්පත් කර අවසන් වෙමින් පවතින පාපන්දු සම්මේලනයේ අලුත් ව්‍යවස්ථාවට රෙගුලාසි ඇතුළත් කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව හැඩ ගැස්වීමේ දී මෙතෙක් ක්‍රියාත්මක වූ ප්‍රධාන ලේකම් ධුරය ඉහළ වැටුපක් ලැබෙන පරිපාලන ලේකම් ධුරය ලෙස වෙනස් කෙරේ.  ඔහුට විධායක සභාවේ බලයක් හිමි නොවන නමුත් එහි කැඳවීම් මත අසුන්ගෙන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ 28 දෙනාගෙන් 18 දෙනකු සභාපතිවරයාගේ අභිමතය පරිදි පත් කරන බවට කෝප් කමිටුවේ දී ප්‍රකාශ වී තිබෙන මතය මුළුමණින්ම සාවද්‍ය බව හිටපු සභාපති අනුර ද සිල්වා මහතා ලංකාදීප යට පැවසීය. ඒ පිළිබඳව තමන් කෝප් කමිටුවේ ප්‍රධානියාට හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට කරුණු පැහැදිලි කරමින් ලිපි යොමු කළ බවත් ඔහු පැවසීය.

ඒ පිළිබඳව අනුර ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“සභාපතිවරයාගේ අභිමතයට විධායක සභිකයන් 18 දෙනකු පත් කරනවා කීම ඉතා වැරදියි. එවන් අභිමතයක් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට කොතනකවත් ලැබිලා නෑ.... දැනට සිදුවන්නේ නිලවරණයෙන් නිර්දේශ නොවන අය විධායක සභිකධුරයන්ට පත් කරන්නේ කවුන්සිල් රැස්වීමේ හා විධායක සභාවේ පූර්ණ අනුමැතියට යටත්ව පමණයි“

“කෝප් කමිටුවේ දී සිදුවුණේ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයන් මේ තත්ත්වය කමිටුවට වටහාලා දීමට අපොහොසත් වීමයි“ යයිද අනුර ද සිල්වා මහතා පැවසීය.

 


අදහස් (0)

පාපන්දු නිලවරණයේ ඡන්ද 62ට අඩුකරන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.