Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආදායම කෝටි 100යි : වියදම 104යි

ආදායම කෝටි 100යි : වියදම 104යි

editorial - 2024 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2024 වසරේ ආදායම ලෙස රුපියල් කෝටි 100කට ආසන්න ගණනක් දක්වද්දී, එම වසරේ වියදම ලෙස රුපියල් කෝටි 104කට වැඩි මුදලක් ඇස්තමේන්තුගත කර තිබේ. එය ගණනින් රුපියල් 995,088,000කි.

කටුනායක ‘බ්‍ලූ ඊගල් වීව්’ හෝටලයේදී පෙරේදා (3 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වාර්ෂික (2024) මහ සභා රැස්වීමේදී මෙම ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් වාර්තාවට සභාවේ ඒකමතික අනුමැතිය ලැබුණි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2024 දළ ආදායම් වාර්තාව අනුව අන්තර්ජාතික පාපන්දු සමුළුවෙන් රුපියල් 720,000,000ක් ද, ආසියානු පාපන්දු සමුළුවෙන් රුපියල්  128,000,000ක් ද ප්‍රදානය වේ. එහිදී ජාත්‍යන්ත්ර සමුළුවේ ශ්‍රී ලංකා ප්‍රතිපාදන සියයට 229කින් ද, ආසියානු සමුළුවේ ප්‍රතිපාදන සියයට 87කින් තරම් ද ඉහළම අගයකට පැමිණ තිබේ.

ඒ හැරෙන්නට අන්තර්ජාතික සමුළුව යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකාවට තවත් රුපියල් 76,445,000ක ප්‍රදානයක් 2024 සඳහා සැලසුම් කර ඇත. එම වසරට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ දේශීය ආදායම් වර්ධනය රුපියල් හත් කෝටියකට වැඩි අගයක් පෙන්වා තිබේ.

එය ගණනින් රුපියල් 70,643,000ක් වන අතර, 2021 හා සාපේක්‍ෂව සියයට 447ක අගයක් පෙන්වා තිබේ.

මේ අතර, පාපන්දු ආයතනයේ වියදම් සැලැස්ම දළ අගය රුපියල් 1,043,764,538කි. ඒ අනුව, 2021 වසරට සාපේක්‍ෂව එහි වියදම් සියයට 91 කින් වර්ධනය වනු ඇත.

ජාතික පාපන්දු (පිරිමි) කණ්ඩායමේ වියදම් 2024ට පෙන්වා ඇත්තේ රුපියල් 323,545,970කි. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 32කට වැඩි ඇස්තමේන්තුවකි.

මේ අතර, ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ වියදම් වර්ධනය 2024ට සියයට 1078ක් තරම් අතිවිශාල අගයකින් ඉහළ දැමීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මෙම වසර සඳහා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට රුපියල් කෝටි 15 කට ආසන්න වියදම් (145,182,110) ඇස්තමේන්තුවක් 2024 වාර්ෂික වියදම් සැලැස්මෙන් වෙන් කර තිබේ.

යොවුන් ව්‍යාපෘති සඳහා වන 2024 වියදම සියයට 100කින් ඉහළ නැංවීමේදී ඒ සඳහා රුපියල් 36,179,040ක් වෙන් කර ඇත. දේශීය තරගමාලා සංවිධානයට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය 2024ට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 19කට ආසන්නය. එය ගණනින් රුපියල් 188,790,141කි.

දිවයිනේ පාපන්දු ලීග සඳහා හය කෝටි හතළිස් ලක්‍ෂයක් (64,000,000ක්) වෙන් කර ඇත්තේ එම ගෙවීම් ප්‍රතිශතය 2021ට සාපේක්‍ෂව සියයට 1023ක් දක්වා ඉහළ නංවමිනි. ඒ අනුව, 2024ට වන රුපියල් කෝටි 104කට වැඩි වන වියදම් ඇස්තමේන්තුව විෂයයන් 15ක් සඳහා වෙන් කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන වියදම සඳහා සියයට 120ක වර්ධනයක් පෙන්වමින් රුපියල් 108,244,480ක් වෙන් කර ඇත.

මේ අතර, පෙරේදා කටුනායක මහ සභාවට පැමිණ සිටි ලීග 63 නියෝජිතයන්ට එහි කටයුතු පවත්වාගෙන යාමේදී බාධාවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ලබාදීම සඳහාත්, පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 30 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු ප්‍රාදේශීය සංගම් (ලීග) මහ සභා රැස්වීම් 2024 ජුනි 30 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීම සඳහා සහන කාලයක් ලබාදීමටත් ගෙනා යෝජනා දෙකකට සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.

උප සභාපතිවරුන් වන වෛද්‍ය මනිල් ප්‍රනාන්දු හා රංජිත් රුද්‍රිගු යන මහත්වරුන් ඇතුළුව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සියලුම විධායක සභිකයන් මෙම අවස්ථාවට සහභාගි වූහ.


අදහස් (0)

ආදායම කෝටි 100යි : වියදම 104යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.