Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ස්පාඤ්ඤයේ ශක්තිය සල්මා
කාන්තා ලෝක කුසලාන පාපන්දු

ස්පාඤ්ඤයේ ශක්තිය සල්මා

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස සිටින ස්පාඤ්ඤය පාපන්දු ක්‍රීඩාවේ තාක්ෂණයෙන් අගතැන්පත් කණ්ඩායමකි. ඔවුන් අතර සිටින සල්මා පැරලුලෙලෝ ප්‍රේක්‍ෂකයන් විස්මයට පත් කරවන ක්‍රීඩා රටාවක් ඇති ක්‍රීඩිකාවකි. තවමත් 19 හැවිරිදි සල්මා පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ස්පාඤ්ඤය කැඳවාගෙන ගියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී නෙදර්ලන්තයට එරෙහිව විශිෂ්ට දස්කම් දක්වමිනි.

බාර්සිලෝනා ක්‍රීඩා සමාජයෙන් පැමිණි ඇය පාපන්දු ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර අති දක්‍ෂ මලල ක්‍රීඩිකාවකව සිටියාය. නෙදර්ලන්තයට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ අතිරේක කාලයකදී ඇය ස්පාඤ්ඤය වෙනුවෙන් අවශ්‍යම ගෝලය ලබාගත්තාය.

ස්වීඩනයට එරෙහිව හෙට (15 වැනිදා) නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී සල්මා මෙන්ම මැද පෙළ ක්‍රීඩිකා බොන්මාටි ද ස්පාඤ්ඤයට වඩාත් වටිනා ක්‍රීඩිකාවන් වනු ඇත. විශේෂයෙන්ම සල්මාගේ ශාරීරික යෝග්‍යතාව සහ වේගය ස්පාඤ්ඤ කණ්ඩායමේ ශක්තියයි. ඇය ඉතාමත් වේගවත් වම් පාදයක් සහිත ක්‍රීඩිකාවකි.

ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ පන්දුව එකිනෙකා අතර හුවමාරු කරගැනීමට ශූරියෝ වෙති. එබැවින් ආරම්භයේ සිටම සල්මා පිටියට කැඳවනවාද නැතහොත් අවශ්‍ය අවස්ථාවේදී ඇය කැඳවීම සඳහා විවේකය දෙමින් පන්දුව හුවමාරු කරගනිමින් ඉදිරියට යනවාද යන්න ස්පාඤ්ඤ පුහුණුකරු ජෝර්ජ් විල්ඩා සලකා බැලිය යුතුව තිබේ.

ස්පාඤ්ඤය ලෝක කුසලාන තරඟාවලියේ මේ දක්වා  පැවැතිතරඟ පහ තුලදී 3171 වතාවක් පන්දුව හුවමාරු කරගැනීමට සමත් වී තිබේ. ස්වීඩනයට ඇත්තේ සාර්ථක හුවමාරු 2,000 ට අඩු සංඛ්‍යාවකි.

සල්මා පැරලුලෙලෝ හැදී වැඩුණේ පාපන්දු ක්‍රීඩාව මලල ක්‍රීඩාව සමඟ ඒකාබද්ධ කරමිනි.
“මම මේ දෙකම කරන්න පටන් ගත්තේ මට වයස අවුරුදු හතේදී. මුලදී එය මට ක්‍රීඩාවක් පමණක් වූ නමුත් ටිකෙන් ටික වයසින් වැඩෙත්ම මට තවත් ඉදිරියට යා හැකි බව වැටහෙන්නට පටන් ගත්තා,”  යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිල වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇගේ මුල් පාපන්දු කාලය ගැන පැවසුවාය.

කඩුලු පැන දිවීමේ ඉසව්වේ සිට තුන් පිම්ම දක්වා මලල ක්‍රීඩා ඉසව් කිහිපයකදීම ඇය පදක්කම් දිනා ඇති ක්‍රීඩිකාවකි. වයස අවුරුදු 15 දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැති යුරෝපීය ගෘහස්ථ ශූරතාවලියේදී මීටර් 400 ඉසව්වට ද ඇය ඉදිරිපත් වූවාය. එහෙත් වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඇයට මලල ක්‍රීඩාවෙන් ඉවත්ව මාස 9 ක් ගතකිරීමට සිදුවිය.

පසුගිය වසරේ ජූලි මාසයේදී ඇය යුරෝපීය කාන්තා සමාජ පාපන්දු ක්‍රීඩාවේ නැගී එන සුපිරි බලවතා වන බාර්සිලෝනා සමඟ එක් වවාය. එහෙත් නැවත වරක් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇය එංගලන්තයේ පැවති යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා තෝරා ගන්නා ලද ස්පාඤ්ඤ මලල ක්‍රීඩා සංචිතයෙන් ඉවත් කරන ලදි. එයින් පසු ඇය මලල ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අතහැර දැම්මාය.

පූර්ණ කාලීනව පාපන්දු ක්‍රීඩාවට යොමුවූ සල්මා, ජුනි මාසයේදී ශූරයන්ගේ ලීගය දිනා ගැනීමට බාර්සිලෝනා කණ්ඩායමට ශක්තිය සැපයූ අතර වසර 2018 දී අවුරුදු 17න් පහළ ලෝක කුසලානය දිනූ කණ්ඩායමටද ඇය එක්ව සිටියාය. පසුගිය වසරේදී පැවැති වයස අවුරුදු 20 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ජපානය පරදවමින් ස්පාඤ්ඤය ලබාගත් ගෝල 3-1 ක ජයග්‍රහණයේදී ඇය ගෝල දෙකක් ලබාගත්තාය.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී ස්වීඩනය පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා ස්පාඤ්ඤය කැඳවාගෙන යාමට ඇය බලාපොරොත්තුව සිටින්නීය.

”ඇය අද්විතීය ක්‍රීිඩිකාවක්. මලල ක්‍රීඩාවේ පසුබිමක් ඇති, එතරම් ගුණාත්මක බවක් සහ ශක්තියක් ඇති වම් පාදයක් සහිත ක්‍රීඩිකාවන් සොයා ගැනීම දුෂ්කරයි” යයි ස්පාඤ්ඤ කණ්ඩායමේ තවත් මැදපෙළ ක්‍රීඩිකාවන් වන බොන්මාටි පවසන්නීය.


අදහස් (0)

ස්පාඤ්ඤයේ ශක්තිය සල්මා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.