Last Update  :  2024-05-01 16:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features සන්තුෂ්ඨියත් සංතාපයත් කැටි කළ දවසක්
එල්.පී.එල් 2023

සන්තුෂ්ඨියත් සංතාපයත් කැටි කළ දවසක්

editorial - 2023 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සති තුනකට ආසන්න කාලයක් පුරා පැවැති එල්.පී.එල්. තරගාවලිය එහි අවසන් අදියරට ළඟා වී තිබේ. තවත් ඉතිරිව ඇත්තේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග හතරක් පමණි.

ඒවායින් දෙකක් හෙට (17 වැනිදා) පැවැත්වෙයි. ජයග්‍රාහකයන්ට සන්තුෂ්ඨියත් පරාජිතයන්ට සංතාපයත් එකම දිනයක පැය කිහිපයක් අතර සිරවී තිබේ.

පළමු තරගය, ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 1 සහ 2 කණ්ඩායම් අතර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගයයි. දඹුල්ල අවුරා (ප්‍රසාද ලකුණු 12) සහ ගෝල් ටයිටන්ස් (ප්‍රසාද ලකුණු 08) අතර හෙට පස්වරු 3.00 ආරම්භ වන තරගයේ ජයග්‍රාහකයෝ සෘජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබති. මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායමට සෙනසුරාදා තවත් අවස්ථාවක් ලැබෙන්නේ ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 1 හෝ 2 ස්ථාන දිනාගත් බැවිනි.

එහෙත් හෙට රාත්‍රී 7.30 ට ආරම්භ වන දෙවැනි තරගයේදී නම් පරාජිතයන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත. එය පිටුවහල් කිරීමේ තරගයකි. බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝත්, පිට පිටම තුන් වතාවක් ශූරතාව දිනූ යාපනය ක්‍රීඩකයෝත් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් සොයමින්, හෙට රාත්‍රියේදී පිටියට පිවිසෙති.

මෙවර තරගාවලිය සඳහා සකස්කරන ලද තණතීරු සම්බන්ධයෙන් ඇත්තේ දැඩි විවේචනයකි.

“එල්.පී.එල්. තරගාවලිය සඳහා සකස් කරන ලද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරු සම්බන්ධයෙන් දැඩිසේ කළකිරී සිටිමි. ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩාවටත්, ක්‍රීඩා ලෝලීන්ටත් ධනාත්මකව තරගවැදිය හැකි වාගේම උත්තේජනයක් සපයන තණතීරුවලට අපි කැමැත්තෙමු. සුදුසුකම් ලැබීමේ තරග වටයේදී හෝ වඩාත් යහපත් මට්ටමේ තණතීරු ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරමි” යයි සනත් ජයසූරිය ට්විටර් පණිවුඩයක් තබමින් පවසා තිබිණ.

ජයසූරිය මෙන්ම කැන්ඩි බී-ලව් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සහ දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ද පිතිකරුවන් අසීරුතාවට පත්කරන තණතීරුවලට එරෙහිව එළිපිටම අදහස් දැක්වූහ.

තරගාවලියේ මූලික වටයේ තරග 20 ක් නිමාවිය. ඒවායේ ඉනිම 40 න් ඉනිම 7 කදීම කණ්ඩායම් ලකුණු 100 ට අඩුවෙන් දැවී ගිය අතර එම ඉනිම 7 න් 5 ක් ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. තවත් ඉනිම 13 කදී ලකුණු 120 ට අඩුවෙන් කණ්ඩායම් දැවී ගියේය. ඒ අනුව ඉනිම 40 න් ඉනිම 20කදී, එනම් තරගාවලියෙන් හරි අඩකදීම ලකුණු 120 ක්  වත් ලබාගැනීමට එල්.පී.එල්. කණ්ඩායම් වලට නොහැකි වී තිබේ. එබැවින් ජයසූරියගේත්, වනිඳු සහ කුසල්ගේත් කතාවල පදනමක් තිබේ.

මෙම තත්ත්වය තරගාවලි සංවිධායකයන්ගේ මෙන්ම එහි දියුණුව පතන කණ්ඩායම් හිමිකරුවන්ගේ ද කණස්සල්ලට කාරණාවකි.

ගෙවීගිය වසර තුනේදීම යාපනය කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු මෙවර දඹුල්ල අවුරා පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින්, තරග 8 කදී ලකුණු 215 ක් ලබා සිටී.

අවසන් මහ තරග තුනකින් දෙකකදීම තරගයේ වීරයා සම්මානය දිනාගත් අවිශ්කට මෙවර තරගාවලියේදීත් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වීම සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකණු 46 කි. මේ දක්වා වැඩිම ලකුණු ලබා සිටින බාබර් අසාම්ගේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට විසිවී ගොසින් බැවින් ඔහුට අවස්ථාවක් නැතුවා නොවේ. අවිශ්ක හා තරගයට සිටින අනෙක් ක්‍රීඩකයා වන ගෝල් ටයිටන්ස් පිලේ ටිම් සේෆර්ට් මේ දක්වා ලකුණු 231 ක් ලබා සිටින්නෙකි.

මතීෂ පතිරණ (කඩුලු 12 යි) ක්‍රීඩා කරන කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වී ඇති බැවින් වැඩිම කඩුලු දවාගන්නා පන්දු යවන්නා වීම සඳහා බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නුවන් ප්‍රදීප් (කඩුලු 12) සහ වනිඳු හසරංග (කඩුලු 11) අතර සටනක් ද තිබේ.

 


අදහස් (0)

සන්තුෂ්ඨියත් සංතාපයත් කැටි කළ දවසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.