Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features වනිඳු නායකයාගේ විශ්වාසය රකියි
ආසියානු කුසලාන

වනිඳු නායකයාගේ විශ්වාසය රකියි

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වනිඳු - ඇයි මාව එක්කන් ආවේ..?
දසුන් - මෑන් ඔෆ් ද සීරීස් උඹනේ...
වනිඳු - ඈ...
දසුන් - ඊගාව මැච්‍ එකේ 5 ක් ගත්තාම...
වනිඳු - මම යන්නම්.. (සිනාසෙමින්)

මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අතර පැවැති දෙබසකි. එහෙත් ඒ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසු නොව ඉන් පෙරය.

අවසන් තරගයට පෙර සුපිරි 4 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ පාකිස්තාන තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව ආරම්භයේදී ඔවුන් දෙදෙනා අතර මෙම කතා බහ ඇති විය.

එම තරගයේදී කඩුලු 5 කින් පාකිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත් වනිඳු හසරංග තරගයේ වීරයා බවට පත්විය. එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට සහාභාගි වූ දසුන් ඒ සඳහා වනිඳුද කැටුව ආ‍වේ ඔහු එම තරගයේදී දැක්වූ දස්කම් නිසාම පමණක් නොව. අවසන් මහ තරගයේදීද ඔහුට කර හැකි තරම හොඳින්ම දන්නා නිසාය.

නායකයා වනිඳු කෙරෙහි තබා තිබූ විශ්වාස ඉහත සඳහන් දෙබස කියවන ඕනෑම අයෙකුට හොඳින් වැටහෙනු ඇත. කෙසේ වුවත් නායකයා කී පරිදි අවසන් මහ තරගයේදී වනිඳුට කඩුලු 5 ක් දවාගැනීමට නම් නොහැකි විය. එහෙත් ඔහු 17 වැනි ඕවරයේදී කඩුලු 3 ක් බිඳහෙළමින් එතෙක් පාකිස්තානය දෙසට හැරී තිබූ තරගයේ ජයග්‍රහණය යළි ශ්‍රී ලංකාව දෙසට හැරවීමට සමත් විය.

ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්ථානය 17 වැනි ඕවරය ආරම්භ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටි අතර ඒ වන විට පන්දු 48 කදී ලකුණු 55 ක් රැස්කරගෙන සිටි මොහොමඩ් රිස්වාන්ද කඩුල්ලේ රැදී සිටියේය. කෙසේ වුවත් 17 වැනි ඕවරයේ පළමු පන්දුවෙන්ම රිස්වාන් දවාගත් ව‌නිඳු, එහි තෙවැනි සහ පස්වැනි පන්දුවලදී අසීෆ් අලී සහ කුෂ්දිල් ෂාද පිටියෙන් ඉවත් කරමින් එම ඕවර තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් කළේය.

එපමණක් නොව අවසන් තරගයේ පන්දුවට පහරදීමේදීද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යයක් කිරීමට වනිඳුට හැකිවිය. ලකුණු 58 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී පිටියට පිවිසි ඔහු, හයවැනි කඩුල්ල වෙනුවෙන් භනුක රාජපක්ෂ සමග එක්ව පන්දු 36 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.

එහිදී පන්දු 21 කට මුහුණදුන් වනිඳු, අනෙක් අන්තයේ රැදී සිටි භානුකගේ පීඩනය තුරන් කරමින් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 36 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළේය. අවසන් තරගයෙන් අනතුරුව පැවැති මධ්‍ය හමුවේදී ඒ බව සනාථ කරමින් භානුක කියා සිටියේ එම අවස්ථාවේදී වනිඳු පන්දුවට පහරදුන් ආකාරය ශ්‍රී ලංකාවට ලකුණු 170 ක් කරා යෑමට බෙහෙවින්ම බලපෑ බවය.

තරගාවලියේ මුල් තරග 4 දීම කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වූ වනිඳු එම තරග 4 දීම දවාගෙන සිටියේ කඩුලු 3 ක් පමණි. එහෙත් සුපිරි 4 දෙනාගේ වට‍යේදී අවසන් වරට ක්‍රීඩා කළ තරගයේදී ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත් ඔහු, ඉන් නොනැවතී අවසන් මහ තරගයේදී ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගාවලියේ වීරයා බවටද පත් විය.

ඕනෑම කණ්ඩායමක ජයග්‍රහණය හෝ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ එහි නායකයා තම අනුගාමිකයන් කෙරෙහි තබන විශ්වාසය මත යැයි පසක් කරදීම සඳහා මෙම සිදුවීම අගනා නිදසුනක් වනු ඇත. තම අනුගාමිකයන් අසාර්ථක වන අවස්ථාවලදී පවා ඔවුන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන් ආරක්ෂා කරගන්නා නායකයන් මතු දිනක අනුගාමිකයන් විසින්ම ජයටැඹ කරා ගෙනයනු ලබනු ඇත.


අදහස් (0)

වනිඳු නායකයාගේ විශ්වාසය රකියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.