Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features යතුරුපැදි ලෝලීන්ගේ හදවතේ ධාවකයා වෙඩිසිංහ

යතුරුපැදි ලෝලීන්ගේ හදවතේ ධාවකයා වෙඩිසිංහ

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

කාලාන්තරයක් පුරා මෙරට යතුරුපැදි ක්‍රීඩා ලෝලීන්ගේ උන්මාදය බවට පත්ව සිටි ආනන්ද වෙඩිසිංහ, විටක ධාවන පථයේ සෙල්ලක්කාරම ධාවකයා වූ අතර තවත් විටෙක දඩබ්බරම ධාවකයාද විය. “රේසිං මගේ ඇගේ තියෙනවා. ඒ නිසා මම මැරෙනකන්ම රේස් පදිනවා.” යැයි කියූ ආනන්ද, ඒ කියමන සනාථවන තෙක්ම ක්‍රීඩාවට සමුනොදුන්නේය.

දිවියෙන් සමුගන්නා විට 47 වැනි වියේ පසුවූ ආනන්දගේ වසර 5 ක ගුණානුස්මරණය ඉරිදා (29 වැනිදා) යෙදී තිබිණ. ඔහුගේ ක්‍රීඩා දිවිය පිළිබඳව පසුවිපරමක් කෙරෙන්නේද ඔහු මියගියේ ධාවන පථයේදී ලද මරණීය තුවාල හේතුවෙන් වන බැවිනි.

1970 වසරේ ජූලි මස 19 වැනිදා සිරි වෙඩිසිංහටත්, රෝස්මේරි බුල්ජන්ස්ටත් දාව කුරුණෑගලදී උපත ලද ආනන්ද, පවුලේ වැඩිමලා වුයේය. ඔහුට සොහොයුරන් දෙදෙනකු (උදේශ් වෙඩිසිංහ සහ සජිත වෙඩිසිංහ) සහ සොහොයුරියක (දීපිකා වෙඩිසිංහ) වූහ. නාලන්ද වෙඩිසිංහ නමින් නිවුන් සොහොයුරෙකුද ආනන්දට සිටි නමුත්, ඔහු ඉපදී මාසයකට පසුව මෙලොවින් සමුගෙන තිබේ.

ආනන්දගේ පියා වු සිරි වෙඩිසිංහ දක්ෂ යතුරුපැදි ධාවකයෙකි. ඔහුගේ මවද යතුරුපැදි ක්‍රීඩාවට නම ගිය පවුලක සාමාජිකාවක් වූවාය. සිරි වෙඩිසිංහ රිය අනතුරකට මුහුණ පෑමෙන් ජීවිතක්ෂයට පත්වන විට ආනන්ද 13 වැනි වියේ පසුවිය. ආනන්දට අමතරව ඔහුගේ සොහොයුරන් දෙදෙනා සහ සොහොයුරියද පසු කළෙක මෝටර් රථ සහ යතුරුපැදි ක්‍රීඩාවලින් දක්ෂතා දැක්වූහ.

යන්තම් අවුරුදු 18 ක් සම්පූර්ණ වන විට, එනම් 1988 වසරේදී, මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුවගේ සහායද ඇතිව ජපානය බලා ගිය ආනන්ද, 1993 වසරේදී පළමු වරට එරටදී යතුරුපැදි තරගයක් සඳහා සහභාගි වූ අතර එහි තෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද සමත් විය.

එතැනින් පටන්ගත් සිය ක්‍රීඩා දිවියට 2017 වසරේදී මරණයෙන් නතර වන තුරුම, ඔහු, දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් තම නාමය ඉදිරියේ සටහන් කරගනිමින් මෙටර යතුරුපැදි ක්‍රීඩා ලෝලීන්ගේ හදවතේ ධාවකයා බවට පත්ව සිටියේය. ජපානයේදී සිය ජීවන සහකාරියද සොයාගත් ආනන්ද, 1991 වසරේදී වෘත්තියෙන් හෙදියක් වූ රූමි වෙඩිසිංහ සමග විවාහ විය. ඔවුන් දෙදෙනා පුතුන් දෙදෙනකු (කේන් වෙඩිසිංහ සහ ජුන් වෙඩිසිංහ) සහ දියනියන් දෙදෙනකු (රීසා වෙඩිසිංහ සහ රීනා වෙඩිසිංහ) ලැබූහ.

අවස්ථා 8 කදී ශ්‍රී ලංකාවේ ප්‍රධානම සුපර්ක්‍රොස් තරගාවලිය වන නරියාකන්ද සුපර්ක්‍රෙස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් ආනන්ද, පිට පිට 6 වරක් එම ශූරතාවට හිමිකම් කියමින් වාර්තාවක්ද පිහිටුවීය. කිහිප වරක්ම ජාතික මොටෝක්‍රොස් ශූරතාව තමන් සතුකර ගැනීමටද ආනන්ද සමත් විය.

යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ක්‍රීඩකයෙක් ලෙස හැදින්විය ආනන්ද, වරෙක නරියාකන්ද තරගාවලිය අතරතුරදී රූපවාහිණී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ තමා නාඩි වැටෙන තුරු රේස් පදින බවය. වසර 25 ක් පුරා සිය යතුරුපැදි වලින් ප්‍රේක්ෂකයන් පිනවූ ආනන්ද, 2017 වසරේ නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී සිදුවූ මාරක අනතුරක් හේතුවෙන් සති පහක කාලයක් සිහිසුන්ව සිට සදහටම දෑස් පියාගත්තේය. එසේ නොවූයේ නම් ඔහු අදටත් ධාවන පථයේ දැකගැනීමට අවස්ථාව තිබිණ.

අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ආනන්ද, ජීවිතක්ෂයට පත්වන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවිය. මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ආනන්ද වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද, ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාඩ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී තවත් ප්‍රබල තරගකරුවකුගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ ආනන්දගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසේ.

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන ආනන්දගේ හිස ලී කොටයක වැදී තිබුණ අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබිණ. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ ආනන්දට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගත්හ.  

අවස්ථා කිහිපයකදීම ආනන්ද ශ්‍රී ලංකා යුද හමුදාවටත්, රණවිරුවන්ටත් කළ උපකාර පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවීණ මෝටර් රථ රියැදුරකු මෙන්ම ප්‍රවීන මෝටර් රථ තරග සංවිධායකයකුද මහේෂ් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“ආනන්ද කියන්නේ හරිම හොඳ පුද්ගලයෙක්. යුද්දෙ කාලෙදී රණවිරුවන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍යවෙන ගිලන් රථ කිහිපයක්ම වෙඩිසිංහ හමුදාවට පරිත්‍යාග කළා.... ඒ විතරක් නෙමෙයි ආබාධ වලට ලක්වෙච්ච රණවිරුවන්ට රෝද පුටු, කෘතිම පාපැදි වගේ දේවලුත් එයා පරිත්‍යාග කරලා තියෙනවා. එයාට වඩා සල්ලි තියෙන අය ඕන තරම් ලංකාවේ රේස් පැද්දා. ඒත් එයා තරම් වෙන කවුරුවත් රණවිරුවන් වෙනුවෙන් මේ වගේ පරිත්‍යාග කරලා නෑ” යැයි ගම්මන්පිල මහතා පැවසීය.  

ආනන්දගේ වියෝවෙන් පසුව ඔහුගේ ප්‍රේක්ෂකයන්ට නැවතත් ඔහුව සිහිපත් කිරීම සඳහා ඔහුගේ වැඩිමහල් පුතු කේන් වෙඩිසිංහ, 2018 වසරේදී ජපානයේ සිට පැමිණ ආනන්දගේ තරග අංකය වූ අංක 15 යටතේ නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියට සහභාගි වූ අතර එහිදී ඔහුට නරඹන්නන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

මෙරට යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන් ආනන්ද කළ ඉමහත් සේවය ඇගයීම වෙනුවෙන් 2018 වසරේ සිට සුපර් මෝටාඩ් කාණ්ඩයේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයා සඳහා ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන නමින් විශේෂ කුසලානයක් පිරිනැමීමටද ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ සංවිධායකයන් පියවර ගෙන තිබේ.
 


අදහස් (1)

යතුරුපැදි ලෝලීන්ගේ හදවතේ ධාවකයා වෙඩිසිංහ
  • Kanishka Herath Friday, 03 June 2022 08:30 AM

    තමන්ගේ දක්ෂතාවන් හා ජයග්‍රහණයන් වලින් හිස උදුමවා නොගත් නිරහංකාර චරිතයක්. ඒ වගේම අපිට පොඩි කාලේ ඉඳන් යතුරුපැදි රේස් රුදාවක් ඇති කරන්න මූලික වෙච්චි කෙනෙක්... ගොඩක් ආධුනිකයින්ට නොමසුරුව තමන් දන්නා දේ කියලා දුන්නු ප්‍රවිණයෙක්... ඕනෑම කෙනෙකුට මල්ලි කියලා කතාකරලා හැමෝගේම ආදරණීය අයියා කෙනෙක් වුණා මිසක් සර් කෙනෙක් වෙන්න උණක් තිබුනේ නැති ඩුබ්ලිකේට් මහත්තුරු අතරේ හිටපු ඇත්තම මහත්මයෙක්. තමුන් පණ වගේ ආදරේ කරපු ක්‍රීඩාවේ යෙදෙමින්ම වීරයෙක් වගේ ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළා. මට තාම මතකයි වෙඩ්ඩා අයියාගේ මළගෙදරට මිනිස්සු ආවේ රටක හිටපු ධාර්මිෂ්ඨ රජකෙනෙක්ගේ මලගෙදරකට සෙනග ගලාගෙන එනවා වගේ. එයා ජිවිත කාලෙටම රැස්කරපු කුසලාන මැද්දේ අයියගේ දේහය තියලා තිබුනේ. දේහය සුසාන භූමියට රැගෙන යද්දී අවමංගල්‍ය පෙරහරේ ගියපු රේසින් යතුරුපැදි ප්‍රමාණය රේසින් තරගාවලියකට ගේන ප්‍රමාණයටත් වඩා වැඩියි. කුරුණෑගල අපි ඒ වගේ අවමගල්‍යයක් මීට කලින්වත් පසුවවත් දැක්කේ නෑ. මේ වගේ හොඳ මිනිස්සු ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ කලින්ම එය ළඟට ගන්නවා. ඒක ක්‍රීඩා ලෝලින්ගේ අවාසනාව...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.