Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features පිතිකරුවා අවදි කළ යුතුව තිබේ

පිතිකරුවා අවදි කළ යුතුව තිබේ

editorial - 2023 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ඉන්දීයාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදාකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිසකර කරගත යුතු තවත් බොහෝ දේ ඇතැයි පෙනෙන්නට තිබේ. 

සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වැදුණේ ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පහළින් රැදී සිටි කණ්ඩායම් සමග බැවින් එහිදී ලැබූ ජයග්‍රහණ උදම් ඇනීමට තරම් වන ඒවා නොවන බව පිළිගත යුතුය. එවන් තරගාවලියක සහභාගි වූ තරග 8 න් තරග 5 කදීම ඕවර 50 අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා දැවී යෑමද කැපී පෙනුණ සිදුවීමක් විය. 

කෙසේ වුවත් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ පන්දු යවන්නන් තරගාවලිය පුරා දැක්වූ විශිෂ්ඨ දස්කම් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග සියල්ල ජයගත් බැවින් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ගේ පසුබැසීම එතරම් ඉස්මතු වී නොපෙණින. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න හැරුණුකොට සෙසු පිතිකරුවන් මෙම තරගාවලියේදී දැක්වූ දස්කම් ලෝක කුසලානයකට ප්‍රමාණවත් දැයි යන්න තරමක් ගැටලු සහගතය. 

එහිදී නායකයා ලෙස දසුන් ශානකගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වය ප්‍රමාණවත් දැයි යන්න පිළිබඳ ඇත්තේද ප්‍රශ්නාර්ථයකි. මෙම තරගාවලියේදී ලැබූ ජයග්‍රහණ 8 ද සමග එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි වරටත් පිට පිටම තරග 10 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, එම ජයග්‍රහණ සඳහා කණ්ඩායමේ නායකයා වශයෙන් දසුන්ගේ දායකත්වය පැවැතියේ අතිශය කණාගාටුදායක තත්වයකය. 

තරගාවලිය පුරා පිතිකරුවකු ලෙස අසාර්ථක වූ දසුන් අවසන් මහ තරගයේදීත් නායකයාගේ වගකීම පැහැර හරිමින් එක් ලකුණකට දැවී ගියේය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 8 න් තරග 5 කදී පන්දුවට පහරදුන් දසුන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 1, 5, 0, 5 සහ 1 ක් ලෙසිනි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 2.4 ක් දක්වා පහළ වැටී තිබිණ. 

සමස්තයක් ලෙස ගත්කළ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් තරගාවලිය අවසානයේ දසුන්ට වඩා අඩුවෙන් ලකුණු ලබාගෙන තිබුණේ කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සිවුදෙනා පමණි. තරග 2 කට පමණක් ක්‍රීඩා කළ නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ පමණක් නොව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණද දසුන්ට වඩා ලකුණු 45 බැගින් රැස්කරගෙන තිබිණ. 

එපමණක් නොව ඕනෑම අවස්ථාවකදී පන්දුව හතරේ සීමාවට ඉහලින් යැවිය හැකි පිතිකරුවකු ලෙස නම් දරා සිටින දසුන්, මෙම තරගාවලියේදී මුහුණදුන් පන්දු 33 කින් එක් පන්දුවක් හෝ හතරේ සීමාවෙන් එපිටට යැවීමට පවා අපොහොසත් විය. කණ්ඩායමේ තරග නිමා කරන්නාගේ වගකීමද දරණ දසුන්ට මෙම තරගාවලියේදී මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සමග එක්ව එම වගකීම හරි ආකාරයෙන් ඉටු කිරීමට නොහැකි විය. 

පන්දු යවන්නකු ලෙසද මෙම තරගාවලියේදී දසුන්ට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වූ නමුත් කඩුලු 5 ක් දවාගනිමින් යම් තරමකින් ජාම බේරා ගැනීමට ඔහුට හැකි විය. කෙසේ වුවත් සුපිරි 6 දෙනාගේ වටයේ නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී සෙසු පන්දු යවන්නන්ට දවාගැනීමට නොහැකි වූ අවසන් කඩුල්ල දවාගැනීමට සඳහා දසුන් ඉදිරිපත්වීම පැසසිය යුතුය. පන්දු 25 ක් පුරා සිය කඩුල්ල රැකගෙන සිටි අවසන් පිතිකරුවා දවාගනිමින් එහිදී දසුන් නායකයකුගේ වගකීම මැනවින් ඉටු කළේය. 

මින් පෙර ශ්‍රී ලංකාව පිට පිටම එක්දින තරග 10 ක් ජයගෙන තිබූ පළමු අවස්ථාවේදී (2004 වසරේදී) මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූහ. එවර කණ්ඩායම ලැබූ මුල් ජයග්‍රහණ 4 දී නායක මාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 21 ක් පමණි. ඊට ලකුණු නොළබා දැවීගිය අවස්ථා 2 ක්ද ඇතුළත් විය. කෙසේ වුවත් පසුබෑමෙන් මිඳීම සඳහා කෙටි විවේකයක් ගත් මාවන්, පස්වැනි සහ හයවැනි තරගවලදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම උප නායක මහේලට භාර දුන්නේය. 

විවේකයෙන් පසුව යළි අළු ගසා දමා නැඟිටි මාවන් හත්වැනි තරගයේදී ලකුණු 38 ක්ද, අටවැනි තරගයේදී ලකුණු 50 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දැක්වූයේය. එදා එසේ වුවද, මෙදා එසේ නොවීය. දස්කම් අතර සිටි වනිඳු හසරංගට සහ ධනංජය ද සිල්වාට සුපිරි 6 දෙනාගේ වටයේ කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගයේදී විවේකයක් ලබාදුන්නද, දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි දසුන් විවේකයක් නොගෙන සියලු තරග ක්‍රීඩා කළේය. 

ශ්‍රී ලංකාව පිට පිටම එක්දින තරග 10 ක් ජයගත් දෙවැනි අවස්ථාවේදී (2013 වසරේදී) කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස් විසිනි. එම තරග 10 දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා මැතිව්ස්, පිතිකරුවකු ලෙස 62.6 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 313 ක් රැස්කළ අතර කඩුලු 5 ක්ද බිඳහෙළුවේය. සංඛ්‍යා දත්ත පදනම් කරමින් මැතිව්ස් සහ දසුන් සන්සන්දනය කළ නොහැකි නමුත් යමෙකු නායකත්වය දරන්නේ නම් ඊට සාධාරණයක් ඉටුකළ යුතු බවද කිව යුතුය. 

සිදුවූ සියල්ල සිදුවී හමාරය. දැන් ඇත්තේ ඉදිරියේදී සිදුවීමට ඇති දෙයට මුහුණදීම සඳහා සූදානම් වීමය. ඒ සඳහා දසුන් ලෝක කුසලාන තරගාවලියට පෙර, හැකි ඉක්මනින් තමාට මඟ හැරී ඇති සුපුරුදු පිතිහරඹ රටාවට අනුගත විය යුතුය. ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේදී වීමත්, ඉන්දීය තනතීරුවල පන්දුවට පහරදීමේදී දසුන් දක්වා ඇති සාර්ථකත්වයත් එහිදී ඔහුට සිය මානසික ඒකාග්‍රතාව ගොඩනගා ගැනීම සඳහා රුකුළක් වනු ඇත. 

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී තරග වැදුණේ ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයට පහළින් සිටි කණ්ඩායම් සමග වුවත්, ලෝක කුසලාන තරගාවලියේදී තරග වැදීමට සිදුවන්නේ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉහළින් රැදී සිටින කණ්ඩායම් සමග බව අප අමතක නොකළ යුතුය. එබැවින් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර තමා තුළ නිදා සිටිනා පිතිකරුවා අවදි කිරීමට දසුන් වග බලාගත යුතුය. 


අදහස් (0)

පිතිකරුවා අවදි කළ යුතුව තිබේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.