Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features නවසීලන්තයෙන්- ප්‍රංශයෙන් උණුසුම් ආරම්භයක්
රග්බි ලෝක කුසලාන

නවසීලන්තයෙන්- ප්‍රංශයෙන් උණුසුම් ආරම්භයක්

editorial - 2023 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයන් වන ප්‍රංශය, තුන් වතාවක් වෙබ් එළිස්’ කුසලාන දිනාගත් නවසීලන්තයට එරෙහිව මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරයි. සති හතක් පුරා පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය හෙට (09 වැනිදා) අලුයම 12.45 ට පැරිස් නගරයට නුදුරින් පිහිටි ‘ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස්’ නම් වූ ප්‍රශයේ ප්‍රධානතම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු සහ අවසන් තරග දෙකම පැවැත්වෙන්නේ පැරිස් නගරයට නුදුරින් පිහිටි ‘ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස්’ නම් වූ ප්‍රශයේ ප්‍රධානතම ක්‍රීඩාංගණයේදීය. එහෙත් මෙම ක්‍රීඩාංගණයේදීම පසුගිය වසරේදී පැවැති ‘චැම්පියන්ස් ලීග්’ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අවුල් සහගත තත්ත්වයක් මත අවසන් වූ බැවින් ප්‍රංශයේ ක්‍රීඩා තරග සංවිධානය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වයන් අතර බියක් පවතී. එබැවින් 2024 ඔලිම්පික් උළෙලට පෙර ප්‍රංශයේ ක්‍රීඩා තරග සංවිධානය පිළිබඳ කදිම පරීක්‍ෂණයක් ද වනු ඇත.

පැරිස් ඔලිම්පික් උළෙලට ඉතිරිව ඇත්තේ වසරකටත් අඩු කාලයකි. එබැවින් පසුගිය වසරේ මැයි මාසයේදී ලිවර්පූල් සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායම් අතර පැවැති පාපන්දු අවසන් මහ තරගයේදී ඔවුන් අතින් සිදුවූ වැරදිවලින් ප්‍රංශ බලධාරීන් පාඩම් ඉගෙන ගෙන ඇති බව ඔප්පු කිරීමට රග්බි ලෝක කුසලාන තරගාවලිය කදිම අවස්ථාවක් වනු ඇත.

ලෝක රග්බි ඉතිහාසයේ අමරණීය ක්‍රීඩකයකු වන නවසීලන්තයේ හිටපු නායක ඩැනියෙල් කාටර් පවසන පරිදි, රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ ඉතාමත්ම තියුණු ලෝක කුසලාන තරගාවලිය මෙයයි.

වත්මන් ලෝක ශූරයන් වන දකුණු අප්‍රිකාව, ලොව අංක එකේ කණ්ඩායම වන අයර්ලන්තය, අනාවැකි පළ කළ නොහැකි සත්කාරකයින් වන ප්‍රංශය සහ අන්තර්ජාතික රග්බි පිටියේ කවදත් කාගේත් තේරීම වන ‘ඕල් බ්ලැක්ස්’ හෙවත් නවසීලන්ත කණ්ඩායම යන හතරෙන් වඩා ඉදිරියෙන් සිටින්නේ කවුරුන්ද යන්න වෙන් කරගැනීම බුකිකරුවන්ට පවා අභියෝගයක් වී තිබේ.

වඩාත් බරපතළ කාරණාව වී ඇත්තේ නවසීලන්තය සහ ප්‍රංශය ‘ඒ’ කාණ්ඩයටත්, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ‘බී’ කාණ්ඩයටත් ඇතුළත් වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පෙරම ඔවුන්ගෙන් දෙදෙනකු ඉවත් වීම වැළැක්විය නොහැකි වනු ඇත. මේ හේතුවෙන් ස්ථාවරයක් නැති එංගලන්තය, වේල්සය සහ ඕස්ටේ්‍රලියානුවන්ට තරමක වාසි දායක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඔක්තෝම්බර් මස අගදී පැවැත්වෙන තරගාවලියේ තීරණාත්මක අවධියේදී නැවතත් දස්කම් අතරට පිවිසීමට මෙම කණ්ඩායම් වලට අවස්ථාව තිබේ.

ආර්ජන්ටිනාවත් මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිස සිටින්නේ බලාපොරොත්තු පොදිබැඳ ගනිමිනි. පසුගිය වසරේදී කටාර්හිදී, ලයනල් මෙසී සහ ඔහුගේ අද්වීතීය පාපන්දු සගයන් විසින් දිනාගන්නා ලද ‘ජූල්ස් රිමේට්’ කුසලාන හෙවත් පාපන්දු ලෝක කුසලානය තබා ඇති රාක්කයටම, රග්බි ක්‍රීඩාවේ ඉහළම සම්මානය වන ‘වෙබ් එළිස්’ කුසලානයත් එකතු කළ හැකි යයි ආර්ජන්ටිනීයානුවෝ විශ්වාස කරති. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගයේදී ආර්ජන්ටීනියානුවන් අතින් පරාජය වූයේ ප්‍රංශයයි.

2023 ලෝක කුසලාන රග්බි තරගාවලිය ඇරඹෙන්නේ ප්‍රංශ ක්‍රීඩාවේ කැපී පෙනෙන වසරක් සනිටුහන් කරමිනි. විශේෂයෙන් ඒ කෙරෙහි තියුණු දේශපාලන බැල්මක් ද වැටී තිබේ.

ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින්, පසුගිය වසරේ පාපන්දු තරගය සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව සිටී. වැරදිකරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ප්‍රධාන පොලිස් දෙපාර්තමේන්තු කිහිපයක්ම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇතැයි ජෙරල්ඩ් ඩාර්මනින් කියයි.

ඩාර්මනින් අවධාරණය කළේ, සංචාරකයක් දාමරිකයන් ලෙස සලකනවාට වඩා ඔවුන් ක්‍රීඩා ලෝලීන් ලෙසින් සැලකීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි. කෙසේ වෙතත් යුරෝපයේ පාපන්දු සහ රග්බි ලෝලීන් බහුතරයක් කලහකරුවන් බව රහසක් නොවේ. පසුගිය වසරේ චැම්පියන්ස් ලීග් අවසන් තරඟයේදී තමන්ට කඳුළු ගෑස් ගැසූ බවට ලිවර්පූල් ආධාරකරුවෝ පැමිණිලි කළ ද ඊට හේතු කාරණා තිබිණ.

ප්‍රංශයේ ක්‍රීඩාංගණ 9 කදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ලක්ෂ 25 ක පමණ රග්බි ලෝලීන් පිරිසක් පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඔවුන් අතරට විදේශයන්ගෙන් ලක්ෂ 6 ක් පමණ එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සත්කාරක ප්‍රංශ කණ්ඩායම තුන් වතාවක්ම රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ නමුත් ජයගත නොහැකි විය. ඔවුන් මෙම තරඟාවලියට පැමිණෙන්නේ වෙන කවරදාටත් වඩා වැඩි අපේක්ෂාවක් ඇතිවය. වසර 2022 දී අපරාජිත තරගාවලියක් නිමා කළ ප්‍රංශ ක්‍රීඩකයෝ ‘සය සාමාජික’ රග්බි තරගාවලියත් ජයගත්හ. 2022 දී ඔව්හු තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදීන් වන අයර්ලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන තිදෙනාම පරාජයට පත් කළහ.

වසර 2023 දී ප්‍රංශකාරයන් එතරම් දස්කම් පෙන්වා නොතිබුණත්, ඔවුන් මාර්තු මාසයේදී ට්වීකන්හැම්හිදී එංගලන්තයට එරෙහිව පැවති තරගයකදී ලකුණු 53-10 ක වාර්තාගත ජයග්‍රහණයක් ලබාගත්තේය. ලෝක කුසලාන තරගාවලියට පෙර ඔවුන්ගේ අවසන් පෙරහුරුවේදී දෙවරක්ම ලෝක කුසලාන දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 41-17 ක් ලෙස පරාජය කිරීමටද ප්‍රංශ ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රංශ කණ්ඩායමේ නායකයා මෙන්ම ස්ක්‍රම්-හාෆ් ක්‍රීඩකයා ද වන අන්තෝනි ඩුපොන්ට් අන්තර්ජාතික රග්බි පිටියේ ක්‍රීඩාවේ කැපී පෙනෙන ක්‍රීඩකයන්ගෙන් අයෙකි.
“අපි කවදාවත් මේ තරම් හොඳින් සූදානම් වී නැහැ” ඩුපොන්ට් ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

“අත්දැකීම් සහ අඛණ්ඩව තරග වලට සහභාගි වූ දක්ෂ ක්‍රීඩකයින්ගෙන් අපේ කණ්ඩායම සමන්විතයි. ඔවුන් කණ්ඩායමේ කොඳු නාරටිය වගේ” යයි ද ප්‍රංශ නායකයා කීවේය.
 ප්‍රංශය සහ නවසීලන්තය අතර රග්බි තරග හැමදාමත් අතිශය තියුණු ස්වභාවයක් ගනී.

1999 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරඟය, රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වන තරඟ වලින් එකකි. තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී ප්‍රංශය ලකුණු 24-10 ක් ලෙසින් පසුපසින් සිටියද, ජෝනා ලොමුගේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 43-31 ක් ලෙසින් මතක හිටින ජයක් ලබාගැනීමට ප්‍රංශකාරයෝ සමත් වූහ.

2007 අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය 20-18 ක තියුණු ජයක් ලැබූ නමුත් වසර හතරකට පසු තම මව්බිමේදී පැවැති අවසන් මහා තරගයේදී නවසීලන්තය ලකුණු 8-7 ක ජයක් ලබමින් වෙබ් එලිස් කුසලාන දිනාගත්තේය.

 


අදහස් (0)

නවසීලන්තයෙන්- ප්‍රංශයෙන් උණුසුම් ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.