Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features තීක්ෂණගේ පැමිණීම ශක්තියක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

තීක්ෂණගේ පැමිණීම ශක්තියක්

editorial - 2023 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කළවේ ආබාධයකට ලක්ව සිටි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, ඉන් පූර්ණ සුවය ලබා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (10 වැනිදා) රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදානමින් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු නවීඞ් නවාස් මහතා පැවසීය.

හෙට තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පුහුණු සැසියෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නවාස් මහතා ඒ බව කියා සිටියේය. මේ වන විට තරමක පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලෑණිය, තීක්ෂණගේ ආගමනයත් සමග ශක්තිමත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද එහිදි නවාස් මහතා වැඩි දුරටත් පැවසීය.

“ඉන්දියාවේ තණතිලිවල අපිට පිතිකරුවන් පාලනය කරන්න පුලුවන් වෙන්නෙ කඩුලු දවාගැනීම තුළින් පමණයි. කඩුලු ලබාගන්න බැරි නම් අපිට ඔවුන්ගේ ලකුණු ලබාගැනීම සීමා කරන්න බැරි වෙනවා. මහීෂ් තීක්ෂණ කියන්නෙ ඕනම වෙලාවක කඩුලු දවාගන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒකයි මම කිව්වෙ ඔහුගේ පැමිණීමෙන් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් වේවි කියලා” යැයි නවාස් මහතා කීය.

කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ නොමැති අවස්ථාවලදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට විශාල වගකීමක් දැරීමට සිදුවූ බව පැවසූ නවාස් මහතා, ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු ඒ වගකීම මැනවින් ඉටු කළ බවද කියා සිටියේය.

“වනිඳු සහ තීක්ෂණ ආබාධවලට ලක්වීම නිසා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරග දෙකේදී සහ ලෝක කුසලාන පළමු තරගයේදී දුනිත් කණ්ඩයමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා බවට පත්වුණා. මම හිතනවා කණ්ඩායම වෙනුවෙන් එහිදී ඔහු සාධාරණයක් ඉෂ්ඨ කළා කියලා. ඔහු හැමදේම ගැන ඉතා හොඳින් ඉගෙන ගනිමින් ඉදිරියට යනවා.” යැයිද නවාස් මහතා පැවසීය.

කෙසේ වුවත් තීක්ෂණගේ පැමණීමත් සමග දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයකුට ස්ථානය අහිමිවනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දුනිත් වෙලාල්ලගේ තවදුරටත් කණ්ඩායමේ රඳවාගනිමින් ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනාගෙන් දෙදෙනකු සමග හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

“තීක්ෂණ කණ්ඩායමට ආවහම අපිට කණ්ඩායමේ සංයුතිය වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒත් අපි හයිද්‍රාබාද් ක්‍රීඩාංගණයෙන් පිටත පුහුණුවීම් කරපු නිසා අපිට තණතිල්ල කොයි වගේද කියලා බලන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා තරගයට පෙර තණතිල්ල පිළිබඳව අධ්‍යනය කරලා තමයි මොන වගේ සංයුතියකට යනවද කියන එක තීරණය කරන්න වෙන්නෙ.” යැයිද නවාස් මහතා සඳහන් කළේය.

 

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර සහ දිල්ෂාන් මධුෂංක 

පාකිස්තාන සංචිතය
බාබර් අසාම් (නායක), ශදාබ් ඛාන් (උප නායක), මොහොමඞ් රිස්වාන්, ෆකාර් සමාන්, ඉමාම් උල්හක්, සෞද් ශකීල්, ඉෆ්තිකර් අහමඞ්, මොහොමඞ් නවාස්, හසන් අලී, හාරිස් රවුෆ්, ශහීන් අෆ්රිඩි, අගා සල්මාන්, උසාමා මිර්, අබ්දුල්ලා ශෆීක් සහ මොහොමඞ් වසීම්


අදහස් (0)

තීක්ෂණගේ පැමිණීම ශක්තියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.