Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features තත්ත්පර 10 බාධකය බින්ද දකුණු ආසියාවේ කඟවේනා

තත්ත්පර 10 බාධකය බින්ද දකුණු ආසියාවේ කඟවේනා

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අර්බුද රැසකට මුහුණදී සිටින ශ්‍රී ලාංකීය ජනතාවට මෑත කාලයේදී යම් තරමක හෝ සතුටක් සැනසීමක් ලැබුණානම් ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් එක්දින තරගාවලි ජයග්‍රහණය සහ කෙටි දුර ධාවක යුපුන් අබේකෝන් වාර්තා පිට වාර්තා පිහිටුවීමත් නිසා පමණි. මෑතකදී ඔහු යළිත් වරක් කාගේත් කතාබහට ලක් වූයේ මීටර් 100 ඉසව්වේ තත්පර 10 බාධකය බිඳ දැමූ දකුණු ආසියාවේ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

ඔහුට පෙර මුළු මහත් ආසියාවේම ක්‍රීඩකයන් අතරින් ගත් කළ එවන් දක්ෂතාවක් දැක්වූ 10 වැනි ක්‍රීඩකයා බවට පත්වීමටද යුපුන්ට හැකිවිය.

එම ආසියානු ක්‍රීඩකයන් 10 දෙනා අතරින්ද කාලය අතින් ගත් කළ හොඳම සිව්වැනි කාලයට හිමිකම් කියන්නේ යුපුන්ය. එහිදී ඔහුට ඉදිරියෙන් සිටින්නේ චීනයේ සූ බින්‍ටේන් (තත්ත්පර 9.83), කටාරයේ ෆෙමී ඔගොනෙඩේ (තත්ත්පර 9.91) සහ ජපානයේ රයොටා යමගටා (තත්ත්පර 9.95) පමණි.

මේ දක්වා ලොව තත්ත්පර 10 සීමාව බිඳ දමා ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව 169 කි. ඔවුන් අතර 167 වැනි ස්ථානය ‍යුපුන් සඳහා වෙන්වී තිබේ. කෙසේ වුවත් හොඳම කාලය අතින් ගත් කළ ලොව 118 වැනියා  බවට පත්වීමටද යුපුන් සමත්ව සිටීයි.

පන්නල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ යුපුන්, 16 වැනි වියේ පසුවෙද්දී, උසස් අධ්‍යාපනය සඳහා වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලට ඇතුළත් වූයේය.  2013 වසරේදී ඉන්දියාවේ රංචි නුවර පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්වූ යුපුන්, 2015 වසරේදී ලෝක සන්නද්ධ සේවා ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින්, මීටර් 100 X 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමග එක්ව ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. පසුව රැකියාවක් සඳහා ඉතාලියට සංක්‍රමණය වූ යුපුන් එහි සිය ක්‍රීඩා කටයුතු ඉදිරියට කරගෙන ගියේය.

2019 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 X 4 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද යුපුන් කටයුතු කළේය. චානුක සංදීප, හිමාෂ ඒෂාන් සහ විනෝජ් සංජය එහිදී ඔහුගේ සහායක තරගකරුවෝ වූහ. එම ඉසව්වේදී නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමටද යුපුන් ඇතුළු කණ්ඩායමට හැකි වූ අතර තත්ත්පර 39.14 කාලයක් වාර්තා කරමින් ඔවුහු එම වාර්තාවට හිමිකම් කීහ.

2020 වසරේ සැප්තැම්බර් මස 8 වැනිදා ජර්මනියේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.16 කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු වාර්තාවක්ද පිහිටුවීමට යුපුන් සමත් විය. එහිදී ඔහු විසින් බිඳ දමනු ලැබුවේ ශ්‍රී ලංකාවේම ක්‍රීඩකයෙකු වූ හිමාෂ ඒෂාන් විසින් තත්පර 10.22 ක කාලයක් වාර්තා කරමින් පිහිටවා තිබූ වාර්තාවකි.

2021 වසරේ මැයි මස 13 වැනිදා ඉතාලියේ සැවෝනා නුවරදී පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.15 කින් නිමා කරමින් තමාගේම වාර්තාව අලුත් කිරීමට යුපුන් සමත් විය. එම මාසයේදීම සිය පෞද්ගලික දක්ෂතාවය යළිත් වරක් අලුත් කිරීමට යුපුන් සමත් වූයේ ජර්මනියේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.09 කින් නිමා කරමිනි.
 
2021 වසරේ ජූනි මාසයේදී පැවැති ඩයමන්ඩ් ලීගයේ මීටර් 100 ඉසව්වක සිවුවැනියා බවට පත්වෙමින් පළමු වරට මීටර් 100 ලෝක ශ්‍රේණිගත කිරීම්හි 48 වැනි ස්ථානයට පත්වීමටද යුපුන්ට හැකිවිය. එම මාසයේදීම යුපුන් ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඔලිම්පික් උළෙලක මීටර් 100 ඉසව්වක් සඳහා ඔහු සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවද එය විය.

ටෝකියෝ ඔලිම්පික් උළෙල 2020 දී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් එය පවත්වන ලද්දේ 2021 අගෝස්තු මාසයේදීය.

වසර 25 කට පසුව ඔලිම්පික් උළෙලක මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමටද එහිදී යුපුන් සමත් වූ අතර ඔහුට පෙර ඔලිම්පික් උළෙලක මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා තිබු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ චින්තක ද සොයිසාය. ඒ 1996 වසරේදීය. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතරින් එකම ධාවකයා ක්‍රීඩකයා වූයේද යුපුන්ය.

කෙසේ වුවත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට යුපුන් අසමත් වූ අතර එහිදී මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයකදී ඔහු වාර්තා කළ කාලය තත්පර 10.32 කි. එබැවින් ඔහුට මීටර් 100 ඉසව්වේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. එහෙත් ඔලිම්පික් සමාප්ති උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව ඔහුට ලබාදීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව තීරණය කළේය.

මෙම වසරේ මැයි මස 25 වැනිදා ජර්මනියේදී පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.06 ක කාලයකින් නිමා කළ යුපුන්, තෙවැනි වරටත් දකුණු ආසියානු වාර්තාව අලුත් කළේය. එම තරගාවලියේදීම මීටර් 200 දකුණු ආසියානු වාර්තාව බිඳ දැමීමටද යුපුන් සමත් වූ අතර එහිදී ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 20.37 කි. එම ඉසව්වේ පැරණි ශ්‍රී ලංකා වාර්තාව විනෝජ් සංජය (තත්ත්පර 20.68) සතුවූ අතර දකුණු ආසියානු වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවේ අම්ලන් බෝගොහේන් (තත්ත්පර 20.52) ටය.

ස්විට්සර්ලන්තයේදී ඊයේ (03 - ඉරිදා) පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගය තත්ත්පර 10.11 කින් නිමා කළ යුපුන්, එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් මහා තරගයේදී තත්ත්පර 9.96 කාලයක් වාර්තා කරමින් තත්පර 10 සීමාව බිඳ දැමීමට යුපුන් සමත් වූ අතර එහිදී සුළඟේ වේගය +1.60 ක් ලෙස සටහන්ව තිබිණ.

“මං ඒක කළා“
“මං අවුරුදු ගානක් මහන්සි උනා. ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිඵලය මට හම්බුනා.“
“ඔව්, මං තමයි සබ්-10 (තත්ත්පර 10 ට අඩු) ක්ලබ් එකේ අලුත්ම සාමාජිකයා“
“බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පලවෙනි සබ්-10 එක.... ආසියානු ඉතිහාසයේ 10 වෙනි සබ් 10 එකේ අයිතිකාරයා මම“
“මා එක්ක උන්න අයට මං මේක කැප කරනවා.... මාව විස්වාස කරපු අයට මං කිසියම් දෙයක් ආපසු දුන්නා කියලා මං හිතනවා.“
“ඔයාලට ගොඩක් ආදරෙයි”
යයි යුපුන් තමාගේ තරග කාලය සටහන් වී තිබූ විද්යුත් කාලපුවරුව පෙන්වමින් පැවසීය.  

කෙසේ වෙතත් තම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලධාරීන්ට චෝදනා කිරීමටද යුපුන් පසුබට නොවීය. එහෙත් ඒ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා බලධාරීන් දක්වන්නේ වෙනත් මතයකි.
 
මෙම තරගාවලියෙන් අනතුරුව යුපුන්,‍ මේ මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා ඇමරිකාවේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට නියමිතය. ඉන් අනතුරුව ඔහු මේ මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටද සහභාගී වීමට සූදානමින් සිටියි.


අදහස් (0)

තත්ත්පර 10 බාධකය බින්ද දකුණු ආසියාවේ කඟවේනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.