Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ගිය හකුරට නාඬන්නේ... තියෙන හකුර රැකගන්නේ
ගාල්ල ටෙස්ට් තරගය

ගිය හකුරට නාඬන්නේ... තියෙන හකුර රැකගන්නේ

editorial - 2023 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)

මහත් බලාපොරොත්තු සහගතව ආරම්භ කළ ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව අවාසිදායක අඩියකට වැටී සිටී. ලකුණු 131 ක ඉලක්කයක් කරා යන පාකිස්තානු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් අවශ්‍ය වන්නේ ලකුණු 83 ක් පමණි.

අසාර්ථක වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹයයි. පන්දු යවන්නන්ද සාර්ථක වූයේ නැතත්, ගිළිහී ගිය උඩපන්දු දෙක රැකගත්තා නම් පාකිස්තානුවන්ගේ මුල් ඉනිම ලකුණු 300 කට සීමාකළ හැකිව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා මෙන්ම පිතිහරඹ පුහුණුකරුවා ද වන නවීඩ් නවාස් මහතා කියයි.

තරගයේ සිව්වැනි දිනයේ ක්‍රීඩාවෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී නවීඩ් නවාස් එසේ කීවේය.

“තවත් ලකුණු 100 ක්වත් තිබුණා නම් හොඳයි. තණතීරුව ටිකක් දඟ කැවෙනවා තමයි. ඒත් ඒක ඒ තරම්ම නරක තත්ත්වයේ නෑ.”

“අපි උත්සාහ කරනවා පීඩනය හැකි තරම් ඔවුන් වෙත යොමු කිරීමට. ඒත් තව කඩුල්ලක් හෝ දෙකක් ඉක්මනින්ම ගන්න පුළුවන්නම්, එතැන ඉඳලා ඔවුන්ටත් ලේසි වෙන එකක් නෑ” යයි තරගයේ තත්ත්වය විග්‍රහ කරමින් නවීඩ් නවාස් කීවේය.

මුල් ඉනිමේදී නිශාන් මධුෂ්ක (1) සහ දිනේෂ් චන්දිමාල් (1) හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම පාහේ හොඳින් තරගයට අවතීර්ණ වූහ. එහෙත් ධනංජය හැරෙන්නට අන් කිසිවකුට දිගු ඉනිමක් කරා යා නොහැකි විය.

ශ්‍රී ලංකා පිතිහරඹ පුහුණුකරුවාගේ විස්සෝපයට ප්‍රධාන කාරණාව එයයි.

ධනංජයගේ ලකුණු 122 හැරෙන්නට, ශ්‍රී ලංකා පළමු ඉනිමේ හොඳම පිතිහරඹය වූයේ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පැමිණි ලකුණු 64 යි. එහෙත් පිතිකරුවන් හත් දෙනකු ක්‍රීඩා කරන කණ්ඩායමක තත්ත්වය මීට වඩා යහපත් විය යුතුය යන්න නවීඩ් නවාස් පෙන්වා දෙයි.

“හොඳ ආරම්භයක් ලැබුණාම ඒක එතැනින් දිගට ගෙන යන්න පිතිකරුවන් දැනගන්න ඕනේ. පාකිස්තානු ඉනිම බලන්න,... එතැන දෙන්නෙක් විතරයි ලකුණු ලබාගත්තේ.. ඒ දෙන්නගෙන් එක්කෙනක් ලොකු ඉනිමක් (නොදැවී 208 යි) ක්‍රීඩා කළා. අනෙක් අය එක්කාසු වුණාම එතන 400 කට වැඩි ගණනක් තිබුණා” යයි නවීඩ් නවාස් කීවේය.

“අපේත් ධනා ඉනිම ඉවර වෙනකම්ම හිටියා. ඇන්ජිත් එයාගේ දායකත්වය දුන්නා. ඒත් අනෙක් අය මොනවද කළේ... සියලු දෙනාගේම දායකත්වය අපට ඕනා” නවීඩ් නවාස් කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමත් සහාය පුහුණුකරුවාගේ විවේචනයට බඳුන් විය.
“අපේ පන්දුු  රැකීමත් හොඳ තත්ත්වයක තිබුණේ නෑ. ඇත්තම කියනවා නම්, අපේ පිතිහරඹය, පන්දු යැවීම වගේම පන්දු රැකීමත් මීට වඩා දියුණු තත්ත්වයක තියෙන්න ඕනා” ඔහු කීවේය.

ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම කිසිසේත්ම අපේක්‍ෂිත මට්ටමක නොවීය. ද්විත්ව ශතකයක් ලබාගත් සවුද් ශකීල්ගේ පහසු උඩපන්දු දෙකක්ම ගිළිහී ගිය අතර දෙවැන්න ගිළිහී ගියේ වමත් පිතිකරුවා ලකුණු 139 දීය. ඒ වන විට ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට ලකුණු 359 ක් විය.

“ඒ උඩපන්දු රැකගත්තා නම්, ඒ ගොල්ලන්ව ලකුණු 300 කට විතර දවාගන්න අපට තිබුණා. අනෙක් අතට අපෙන් ලැබුණු අසීරු උඩපන්දු ඒ ගොල්ලන් රැකගත්තා. ඒකෙන් වුණ බලපෑම අති විශාලයි”

“පන්දු රැකීම කියන්නේ හැමදාමත් වැදගත් දෙයක්. ඒත් මේ තරගයේදී අපේ පන්දු රැකීම ගැන නම් කිසි සේත්ම සෑහීමට පත්වෙන්න බෑ” යයි නවීඩ් නවාස් වැඩිදුරටත් පැවසීය.
සිව්වැනි දිනය නිමාවේදී තිබෙන තත්ත්වය අනුව, තරගය ජයගැනීමට කළ යුතුව තිබෙන දේ නවීඩ් විග්‍රහ කළේ මෙපරිද්දෙනි.

“විශේෂම කාරණාව තමයි අපි පාකිස්තානු පිතිකරුවන් වෙත පීඩනය යොමු කරන ගමන්ම, අපට තියෙන ලකුණු සොච්චම ආරක්‍ෂා කරගන්න එක. හෙට උදේම, වැඩිපුර ලකුණු නොදී තවත් කඩුලු දෙක තුනක් දවාගන්න අපට පුළුවන් නම්, ඒ මගින් ඔවුන් පීඩනයට පත්වේවි. තණතීරුවේ දඟ කැවීමක් තිබුණොත්, ඒක අපට උපකාර වේවි.”

“අපි පන්දුවට පහර දෙද්දීත් තණතීරුව පිතිකරුවන්ට හොඳයි. අද උදේ වුණත් එහෙමයි” නවීඩ් නවාස් කීවේය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 10 ම එකම දිනයකදී දැවී යාම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථක වීම කදිමට කියා පාන්නකි.

“ඒකේ ලොකු දඟ කැවීමක් තිබුණේ නෑ. තරමක අසම බවක් තිබුණත් ඒකත් ඒ තරම් ලොකු තර්ජනයක් වුණේත් නෑ”

“මා හිතන්නේ අපි දෙවැනි ඉනිමේදී මීට වඩා ලකුණු ගණනක් ගන්න තිබුණා. අපේ පිතිකරුවන් හොඳින් තමන්ගේ කාර්යය කළා නම්, අපිට තවත් ලකුණු 100 ක් විතර වැඩිපුර ගන්න තිබුණා. මම හිතන් හිටියේ (දෙවැනි ඉනිමේදී) ඕවර 120 ක් විතර පන්දුවට පහර දුන්නා නම් අපට මේ තරගයේ හොඳ තැනකට එන්න තිබුණා” නවීඩ් නවාස් කීවේය.
පුහුණුකරු නවාස් කීවේ ගණිතමය වශයෙන් කළ සැලැස්මකි.

80 වැනි ඕවරයේදී දෙවැනි නව පන්දුව ගැනීමෙන් පසුව යැවූ ඕවර 3 කින් ශ්‍රී ලංකා ඉනිම නිමා විය. එහෙත් දෙවැනි ඉනිමේදී ඕවර 120 ක් පමණ පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූයේ නම් පාකිස්තානුවන්ගේ ඉලක්කය ලකුණු 240 ක් තරම් ඈතට ඇදගෙන යාමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබිණ.

තරගයේ අවසන් දිනය වන බැවින්, ජයග්‍රහණයක් කරා යාමට නම්, ඕවර 60 ක් හෝ 70 ක් ඇතුළත එය ලබාගත යුතුවන බැවින් පාකිස්තානු පිතිකරුවන් පීඩනයට ලක්වීම නිසා කඩුලු දවාගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා පිලට ලබාගන්නට තිබිණ.

කෙසේ වෙතත් “ගිය හකුරට නාඬන්නේ... තියෙන හකුර රැකගන්නේ” යයි කියමනක් සිංහලයේ තිබේ. එබැවින් දැන් කළ යුතුව ඇත්තේ ඉතිරි ලකුණු 83 ලබාගැනීමට පෙර හැකි තරම් කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමයි. එහි මායිමේ ජයග්‍රහණය හෝ පරාජය රැඳී ඇත.

 


අදහස් (0)

ගිය හකුරට නාඬන්නේ... තියෙන හකුර රැකගන්නේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.