Last Update  :  2024-05-01 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ඉසිපතනය ශූරතාව රැකගැනීමේ සටනක
පාසල් රග්බි ලීගය

ඉසිපතනය ශූරතාව රැකගැනීමේ සටනක

editorial - 2023 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් තෝරාගනු ලබන තීරණාත්මක තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර හෙට (19 වැනිදා) පස්වරු 4.00 සිට ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සුපිරි වටයේ අවසන් සතිය ආරම්භ වන විට ශාන්ත පීතර විදුහල අතිරේක ප්‍රසාද ලකුණු 5 ක් සමග සම්පූර්ණ ප්‍රසාද ලකුණු 40 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේය.

එහි දෙවැනි ස්ථානයේ පසුවන ඉසිපතන විදුහල අතිරේක ප්‍රසාද ලකුණු 7 ක් සමග ලබා සිටින සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 37 කි. ඒ අනුව මෙම කණ්ඩායම් දෙක අතර හෙට පැවැත්වෙන තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගනී. මක්නිසාද යත් හෙට තරගයේ ජයග්‍රාහකයන් මෙවර අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස කිරුළු පළදින බැවිනි.  

ඉකුත් වසරේදී (2022) අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත් වූ ඉසිපතන විදුහල 1932 වසරේ සිට මේ දක්වා අවස්ථා 16 කදී එම ශූරතාවට හිමිකම් කියා තිබේ. ශාන්ත පීතර විදුහල පාසල් රග්බි ලීගයේ ශූරතාව දිනා ඇති අවස්ථා ගණන 14 කි.

ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල අතර 1963 වසරේ සිට මේ දක්වා තරග 48 ක් පවත්වා ඇති අතර ඉන් තරග 25 ක් ජය ගැනීමට ඉසිපතන විදුහලත්, තරග 20 ක් ජයගැනීමට ශාන්ත පීතර විදුහලත් සමත්ව ඇත. තරග 3 ක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ.

මූලක වටයේදී කණ්ඩායම් 7 බැගින් වූ අනු කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 14 ක් තරග කළහ. එහිදී ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4 ක් සුපිරි වටයට සුදුසුකම් ලැබීය. ඉසිපතන විදුහල ‘ඒ-1’ අනු කාණ්ඩයේ ශූරයන් ලෙසත්, ශාන්ත පීතර විදුහල ‘ඒ-2’ අනු කාණ්ඩයේ ශූරයන් ලෙසත් සුපිරි වටයට පිවිසියහ.

සුපිරි වටයේ පළමු සතිය යටතේ ඉකුත් සිකුරාදා (11 වැනිදා) පැවැති තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 39-00 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතරයෝ සමත් වූහ. සෙනසුරාදා (12 වැනිදා) පැවැති තරගයකදී ඉසිපතනයට එරෙහිව ලකුණු 22-17 ක ජයක් වාර්තා කිරීමට රාජකීයයෝ සමත් වූහ.

සුපිරි වටයේ තවත් තරගයක් හෙට (19 වැනිදා) මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල තරග බිමට අවතීර්ණ වනු ඇත. මේ වන විට රාජකීයයන් ප්‍රසාද ලකුණු 31 ක්ද, ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු 24 ක්ද ලබා සිටින බැවින් එම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් තරගාවලියේ ශූරතාවට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවනු ඇත.

කෙසේ වුවත් ශාන්ත පීතර - ඉසිපතන තරගයෙන් ඉසිපතන විදුහල ප්‍රසාද ලකුණක් නොළබා පරාජයට පත්වී, රාජකීය - ශාන්ත අන්තෝනි තරගය ප්‍රසාද ලකුණද සමග ජයගැනීමට රාජකීයයන් සමත් වුවහොත් ඉසිපතනය තෙවැනි ස්ථානයට ඇද දමමින් මෙවර තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීමට රාජකීය විදුහලට අවස්ථාව උදාවනු ඇත.

එසේ සිදුවීමට හේතුව ලකුණු සම වූ විට කණ්ඩායමක් තරගාවලිය තුළ ප්‍රදිවාදීන්ට එරෙහිව ලබාගත් ලකුණු සහ එම කණ්ඩායම ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණුවල පරතරය සලකා බැලීමය. මෙවර තරගාවලියේදී ශාන්ත පීතර විදුහලේ දුන් ලකුණු සහ ලැබූ ලකුණුවල පරතරය 134 ක් වන අතර ඉසිපතන විදුහලේ දුන් ලකුණු සහ ලැබූ ලකුණුවල පරතරය 78 කි.


 


අදහස් (0)

ඉසිපතනය ශූරතාව රැකගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.