Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features 96 සිට අද දක්වා සිංහයන් පැමිණි මඟ
ලෝක කුසලාන ක්‍රිකට්

96 සිට අද දක්වා සිංහයන් පැමිණි මඟ

editorial - 2023 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ 1975 වසරේ සිට පිට පිටම පස්වතාවක් මූලික වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකා කණ්ඩායම, අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ 1996 වසරේදී තම මවුබිමේ නාමය ක්‍රිකට් වංශකතා පොතේ රන් අකුරින් ලියා තැබීමට සමත් වූයේ පෙරළිකාර ජයග්‍රහණ රැසක් වාර්තා කරමිනි. 

එතැන් පටන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භය දක්වා පැමිණි ගමනේදී ශ්‍රී ලංකාවට දෙවතාවක්ම ශූරතාව පෙනි පෙනී අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ඒ 2007 වසරේදී මහේල ජයවර්ධනයේ නායකත්වය යටතේ ඕස්ටේ්‍රලියාව හමුවේද, 2011 වසරේදී කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ ඉන්දියාව හමුවේද පරාජය වීම හේතුවෙනි. 

කෙසේ වුවත් ලෝක කුසලාන දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පැමිණිගමන් මග ප්‍රස්ථාරයකින් දැක්වුවහොත් එය කන්දක් නැග පල්ලම් බැස ඇති ආකාරයකට පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ බිම් මට්ටමේම සිටය. 

එපමණක් නොව ඉතිහාසයේ පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමට පවා ශ්‍රී ලංකාවට මෙවර සිදුවිය. එහෙත් පෙරලෙන පිට හොඳයි කියන්නාක් මෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලිය පන්නරයක් කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, අපරාජිත බව රැකගනිමින් එහි ශූරතාවටද හිමිකම් කීමට සමත් වූහ. 

ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධවලින් පෙළීම හේතුවෙන් තේරීම් කමිටුවට මෙවර තරගාවලිය සඳහා අවසන් සංචිතය තෝරා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම් අතරින් අන්තිමයා ලෙස සංචිතය නම් කරනු ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්වීම එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකිය. 

සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන්ගෙන් ඇතමෙක් ආබාධවලින් පූර්ණ සුවය ලබා නොතිබීම නිසා පෙරහුරු තරගවලට සහභාගි නොවූ අතර නායක දසුන් ශානකද ඇතුළුව තවත් කිහිපදෙනෙක් පළමු පෙරහුරු තරගය සහ පුහුණුවීම් අතරතුර ආබාධයන්ට ගොදුරුවීම නිසා දෙවැනි පෙරහුරු තරගයට සහභාගි නොවූහ. 

1996 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉතිහාස දෙස හැරී බැලීමේදී 1999 සහ 2019 දී හැර පිට පිටම අවස්ථා 4 කදී කැපී පෙනෙන යමක් කළ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා සිටියි.

1999 ලෝක කුසලාන

1996 ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දුන් නායක අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේම ශ්‍රී ලංකාව 1999 ලෝක කුසලාන තරගාවලියටද සහභාගි වූ නමුත් එහිදී අමිහිරි පරාජයන්ට මුහුණ දෙමින් මූලික වටයෙන්ම ඉවතට විසිවිය. 

මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයේදී යටතේ එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, සෙසු තරගවලදී සිම්බාබ්වේ සහ කෙන්යාව පරාජය කළද, එය සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. එම පරාජයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක කුසලාන දිනාදුන් නායකයාට  නායකත්වයට සමුදීමට පවා සිදුවිය. 

2003 ලෝක කුසලාන

සනත් ජයසූරියගේ නායකත්වය යටතේ 2003 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව, මූලික වටයේදී ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සුපිරි 6 දෙනාගේ වටයට පිවිසියේය. කෙසේ වුවත් එහිදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගය පමණක් ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියාව හමුවේ නැවත වරක් පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව මඟහැරී ගියේය. එම තරගාවලියේදී පන්දුවෙන් කැපීපෙනෙන දස්කම් දැක්වූ චමින්ද වාස් තරග 10 කදී 14.39 ක සාමාන්‍යයක් රඳවාගෙන කඩුලු 23 ක් බිඳහෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. 

2007 ලෝක කුසලාන 

මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ 2007 ලෝක කුසලාන තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව, මූලික වටයේදී අපරාජිත බව රැකගෙන ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේය. සුපිරි වටයේදී දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වුවද, නවසීලන්තය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය පරාජයට කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසියේය. 

අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පහසු ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට පිවිසීමට සමත් වුවද, අවසන් මහ තරගයේදී යළිත් වරක් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. නායක මහේල ජයවර්ධන තරග 11 කදී ලකුණු 548 ක් රැස්කරමින්ද, මුත්තයියා මුරලිදරන් තරග 10 කදී කඩුලු 23 ක් දවාගනිමින්ද පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානවලට පත් වූහ. 

2011 ලෝක කුසලාන 

කුමාර් සංගක්කරාගේ නායකත්වය යටතේ 2011 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව, පාකිස්තානය හමුවේ පමණක් පරාජය වෙමින් මූලික වටය නිමා කළේ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි. මෙම තරගාවලියේදී සුපිරි වටයක් නොතිබුණ බැවින් මූලික වටයේදී හිමිකරගත් ස්ථානය අනුව අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවිය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තයද, අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පරාජය කරමින් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහෙත් අවසන් මහ තරගයේදී මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට වීම හේතුවෙන් දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට අනු ශූරතාව රැගෙන මවුබිම බලා ඒමට සිදුවිය. 

එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දස්කම් ඉතාමත් ඉහළ මට්ටමක තිබූ අතර වැඩිම ලකුණු ලාභීන් 5 දෙනාගෙන් තිදෙනෙක්ම ශ්‍රී ලාංකිකයන් වීම ඊට කදිම නිදසුන ලෙස දැක්විය හැකිය. තිලකරත්න ඩිල්ෂාන් තරග 9 කදී ලකුණු 500 ක් රැස්කරමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගත් අතර නායක කුමාර් සංගක්කාර තරග 9 කදී ලකුණු 465 ක්ද, උපුල් තරංග තරග 9 කදී ලකුණු 395 ක් බැගින් රැස්කළහ. 

2015 සහ 2019 ලෝක කුසලාන 

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ 2015 ලෝක කුසලානයටත්, දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ 2019 ලෝක කුසලානයටත් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම්වලට එහිදී කැපී පෙනෙය යමක් කිරීමට නොහැකි විය. 2015 දී ‘ඒ’ කාණ්ඩයේ තෙවැනියා ලෙස මූලික වටය නිමා කළ ශ්‍රී ලංකාව, අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවතට විසිවිය. 

2019 වසරේ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග එකම කාණ්ඩයක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැති අතර එහි මුල් ස්ථාන 4 හිමිකරගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට තෝරා ගැනිණ. එහිදී ඇෆ්ඝනිස්ථානය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පැවැති තරග ජයගෙන නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම ගෙදර ඒමට සිදුවිය.


අදහස් (0)

96 සිට අද දක්වා සිංහයන් පැමිණි මඟ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.