Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ
එස්.එස්.සී. ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 211 ක වාසියත් සමගින් දෙවැනි ටෙස්ට් තරගයේ ග්‍රහණය දැඩි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයේ ජය පෙනෙන මායිමට පැමිණ සිටී. බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (27 වැනිදා) දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 115 කට කඩුලු 6 ක් අහිමි කරගෙන සිටියේය. 

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 96 ක් ලබාගත යුතුය. තණතීරුව පිතිකරුවන්ට අවාසිදායක නොවූවත්, මේ වනවිට ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු යවමින් සිටින ආකාරය සහ ප්‍රතිවාදීන් වෙත එල්ල කර තිබෙන පීඩනය අනුව, අවසන් පිතිකරුවන් හතර දෙනාට එක්වී ලකුණු 96 ක් ලබාගැනීම පහසු අභියෝගයක් නොවේ. 

බංග්ලාදේශීහු අපේක්‍ෂා කළ පරිදිම අද පෙරවරුවේදී කඩුලු 4 ක් දවාගත්හ. එහෙත් ශ්‍රී ලංකා පිල වෙත ලකුණු ගලා ඒම නතර වූයේ නැත. අද දිනයේදී තවත් ලකුණු 168 ක් එකතු කරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 211 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ.

කුසල් මෙන්ඩිස්ගේ බුද්ධිමත් පිතිහරඹයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 458 කින් නිමාවිය.  දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, ලකුණු 84 ක් ලබාගත් අතර අනෙක් අන්තයේ සිටි පිතිකරුවා ආරක්‍ෂාකර ගැනීමට ගත් උත්සාහයේදී දුවද්දී දැවී ගියේය. 

තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපයට යැවූ මෙන්ඩිස් ලකුණක් ලබාගත්තද, ඒ වනවිට ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි තයිජුල්ට අංක 10 පිතිකරුවා නිරාවරණය කිරීමට අකමැති විය. කඩුලු රකින්නාගේ අන්තයේ සිටි විශ්ව ප්‍රනාන්දු තමන් වෙත කැඳවමින් කුසල් දෙවැනි ලකුණ කරා ගියද එබාදන් හොසේන්ගේ දකුණත මෙන්ඩිස්ට වඩා ඉක්මන් විය. විනාඩි 135 කදී පන්දු 87 කට මුහුණ දුන් මෙන්ඩිස්, අලංකාර හතරේ පහර 8 කින් සහ දැවැන්ත හයේ පහර දෙකකින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබිණ. 

පෙරවරු 9.53 ට තරගය ආරම්භ වූයේ පැතුම් නිස්සංක සමගින් මුරකරු පිතිකරු ප්‍රභාත් ජයසූරිය පිටියට එමිනි. ඕවර දෙකකින් දෙවැනි නව පන්දුව ලබාගත් නමුත් පැතුම් නිස්සංසක කිසිදු  අපහසුතාවකින් තොරවම ලකුණු 150 සීමාව පසුකර ගියේය. එය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා, පිට පිට තරග දෙකකදී දෙවැනි වරටත් ලකුණු 150 සීමාව පසුකර යාමකි. පැය හය හමාරකට ආසන්න කාලයක් පිටියේ රැඳුණු නිස්සංකගේ මැරතන් ඉනිම නිමාවීමත් සමගින් ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 ක් ලකුණු 30 ක් ඇතුළත බිඳ වැටිණ. 

දෙවැනි නව පන්දවේ තිබූ දැඩි බව නිසාම පන්දුව තරමක වැඩි ඉපිළීමක් පෙන්වූ හෙයින් ෂෝට් මිඩ් ඕෆ් හි සිටි අනමුල් හක්ට නිස්සංකගේ උඩපන්දුව ලැබිණ. ඒ සමගින්ම වාගේ ධනංජය ද සිල්වාවත් ලකුණු 07 කට දවාගත් තයිජුල් ඉස්ලාම් දෙවැනි නව පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තේ ප්‍රභාත් ජයසූරියගේ කඩුල්ල නහීද් රානාට ඉතිරි කරමිනි. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.