Last Update  :  2025-06-27 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරු ලයිස්තුවේ අංක 4 ධනංජයට
එස්.එස්.සී. ටෙස්ට් තරගය

පිතිකරු ලයිස්තුවේ අංක 4 ධනංජයට

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ටෙස්ට් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව සොනාල් දිනූෂට හිමිවන නමුත් ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේම ස්ථානය නොවේ. වසර ගණනාවක් පුරා ටෙස්ට් පිතිකරු ලයිස්තුවේ අංක 6 ස්ථානයන් පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා හෙට (25 වැනිදා) සිට නැවතත් අංක 4 ස්ථානයට පැමිණෙනු ඇත.
 
වසර 2016 දී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ධනංජය එස්.එස්.සී. පිටියේදී පැවැති සිය තුන්වැනි ටෙස්ට් තරගයේදීම ඕස්ට්‍රේලියානුවන් හමුවේ ශතකයක් සහ අර්ධ ශතකයක් (126 සහ නොදැවී 65) ලබාගත්තේය. එම තරගයේදී අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ ධනංජය දිගු කලක් තිස්සේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කළේය. 

සිය තරග 64 ක ටෙස්ට් දිවියේදී ධනංජය තරග හතරකදී අංක 4 ස්ථානයේත් ක්‍රීඩා කළේය. එහෙත් අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් ඔහුගේ ලකුණු සාමාන්‍යය (20.33) දුර්වල වූ හෙයින් නැවතත් අංක 6 ස්ථානයට තල්ලු විය. 

කෙසේ වෙතත් මේ වතාවේදී ධනංජය අංක 4 ස්ථානයට එන්නේ දිනේෂ් චන්දිමාල් හැරුණු විට කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා ලෙසිනි. 

මෙම තත්ත්වය කල්වේලා ඇතිවම දැන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ උපදේශක තිළිණ කණ්ඩම්බි මහතා ධනංජයට උපදෙස් දුන්නේ ජාතික සුපර් ලීග් තරගාවලියේදී අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දෙන ලෙසයි. උපදෙස් අකුරටම පිළිපැදි ධනංජය ජාතික සුපර් ලීග් තරගාවලියේදී අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දෙමින් තරග 5 කදී ලකුණු 369 ක් ලබාගත්තේ ඉනිමකදී ලකුණු 52.71 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. 

මේ අනුව සොනාල් දිනූෂ කණ්ඩායමට එක්වන්නේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ අංක 4 පිතිකරුවා ලෙසින් නොව, වමතින් දඟ පන්දු යැවීමේ හැකියාවෙන් යුත් වඩාත් විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු ලෙසිනි. ඔහු පිතිකරු ලයිස්තුවේ අංක 6 හෝ 7 ස්ථානයෙන් පිටියට පිවිසෙනු ඇත. 

“සොනාල් දිනූෂ ඔහුගේ මංගල (ටෙස්ට්) තරගයට ක්‍රීඩා කරාවි. තණතරුව දෙස බලන විට හොඳම විකල්පය ලෙසට පෙනෙන්නේ සොනාල් දිනූෂයි. ඒ නිසා මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ දුරට ඔහුට තිබෙනවා” යයි ධනංජය ද සිල්වා අද දහවල් එස්.එස්.සී. පිටියේදී පැවසීය. 

සී.සී.සී. පිල නියෝජනය කරන සොනාල් දිනූෂ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් නියෝජනය කර ඇති වමත් පිතිකරුවෙකි. මේ වන විට පළමු පෙළ තරග 48 කට සහභාගි වී සිටින සොනාල් ඒවායේදී කඩුලු 99 ක් දවාගෙන තිබේ. සොනාල් පළමු පෙළ කඩුල්ලක් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන සාමාන්‍යය 24.79 කි. ඔහු විසින් රැස්කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව 2478 කි. පළමු පෙළ ශතක සංඛ්‍යාව 7 කි. පිතිහරඹයේදී ඉනිමක සාමාන්‍යය ලකුණු 40.62 ක් ලෙස රඳවා ගෙන තිබේ. 

ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඉදිරි ගමනක් දැකීමට නම් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග ජයගත යුතු යයි නායක ධනංජය නිරන්තරයෙන්ම කියන කතාවකි. එහෙත් ඒ සඳහා පන්දු යැවීමේ සංයුතිය නිවැරදිව සකස්කර ගැනීම ඉතා වැදගත් වේ. 

“මම කලින් කිව්වා වගේ පන්දු යැවීමේ සංයුතිය නිවැරදිව ලබා ගැනීම වැදගත්. ඒකෙන් මම අදහස් කළේ අපට අමතර වේග පන්දු යවන්නෙකු හෝ අමතර දඟ පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කරන්න වේවි කියලයි” යයිද නායකයා කීවේය. 

ඉතිහාසය සැලකිල්ලට ගන්නේ නම් බංග්ලාදේශය සමගින් පැවැත්වෙන තරග වලදී දවාගන්නා ලද කඩුලු වලින් 70්‍ර ක ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වේග පන්දු යවන්නන් විසිනි. ගාල්ලේදී වේග පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කිරීම ප්‍රශ්නයක් වූවත් එස්.එස්.සී. පිටියේදී එසේ නොවේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම තරගය ආරම්භ කිරීමට පෙර අවසන් හෝරාව දක්වාම කල්දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබේ. නිරන්තරයෙන් වෙනස් වන කාලගුණික තත්ත්වය ඊට හේතුවයි. 

කෙසේ වෙතත් ටෙස්ට් තරග වලදී පළමු ඉනිමේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව තරගයක ජයග්‍රහණය කෙරේ විශාල දායකත්වයක් දරයි. කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ නම් සිව්වැනි ඉනිමේදී ප්‍රතිවාදීන් පීඩනයට පත්කළ හැකිය. එමගින් කඩුලු 20ක් ගන්න උත්සාහ කළ හැකිය. 


අදහස් (0)

පිතිකරු ලයිස්තුවේ අංක 4 ධනංජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.