Last Update  :  2021-10-18 22:14:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Features “කිලී” නම් වූ ක්‍රිකට් මහාරාජා

“කිලී” නම් වූ ක්‍රිකට් මහාරාජා

editorial - 2021 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

-------------------------------------------
සැකසුම - දමින්ද විජේසූරිය
-------------------------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජය වෙමින් සිටියදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ රාජා මහේන්ද්‍රන් මහතාත් දිවි ගමන නිමා කරමින් සමුගෙන ගියේය. අද මෙන් ශ්‍රී ලංකාවටම ක්‍රිකට් උණ නොතිබූ 80 දශකයේදී ක්‍රිකට් උණ තිබුණේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයකු වූ රාජා මහේන්ද්‍රන් මහතා ඇතුළු කිහිප දෙනකුට පමණි.

“කිලී මහාරාජා” යනුවෙන් සිය හිතෛශීන් අතර ජනාදරයට පත් රාජා මහේන්ද්‍රන් මහතා ඉරිදා (25 වැනිදා) පෙරවරුවේදී අවසන් හුස්ම හෙළීය. ඔහුගේ අවසන් කටයුතු එදිනම සිදුකෙරිණ.

ශ්‍රී ලංකාවට පළමු වැනි ටෙස්ට් ජයග්‍රහණය ගෙනා නායකයා වන  දුලිප් මෙන්ඩිස් මහතාගේ මතය අනුව කිලී මහාරාජා මහතාගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ සේවය වචනයෙන් විස්තර කළ නොහැකිය.

“ඔහු තමා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අර්ධ වෘත්තීය තත්ත්වයට හුරුකළේ. එයා ශ්‍රී ලංකාවේ හැම කොණකින්ම ක්‍රිකට් ක්‍රීඩකයන් එයාගේ ආයතනයට බඳවා ගත්තා.

විශේෂයෙන්ම දුර බැහැර පළාත් වලින්. එයාගේ අරමුණ වුණේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙසින් දියුණු වෙනවා දැකීමයි....ඒ ක්‍රීඩකයන් වැඩ කළාට වඩා කළේ ක්‍රිකට් ගහන එකයි. ” යයි 1972 දී පාසලෙන් ඉවත් වීමත් සමගින් මහාරාජා ආයතනයට එක්වූ දුලිප් මෙන්ඩිස් මහතා ‘ඩේලි එෆ්.ටී’ පුවත් පතට කියා තිබිණ.

ශ්‍රී ලංකාවේ කැරළිකාර ක්‍රිකට් කණ්ඩායම 1983 දී දකුණු අප්‍රිකාවට ගිය පසුව ශ්‍රී ලංකා පිලේ නායකයා වූයේ දුලිප් මෙන්ඩිස්ය. 1984 එංගලන්ත සංචාරයේදී පැවැති එකම ටෙස්ට් තරගය පැවැති ලෝඩ්ස් පිටියේදී (111 සහ 94) ඉයන් බොතම්ට උණ ගැනෙන්නට පහර දුන් හිටපු ශ්‍රී ලංකා නායකයා ‘මහාරාජා’ සමාගමේ වසර 30 කට ආසන්න කාලයක් සේවය කළේය. ඔහුට තිබුණේ ආයතනයේ ක්‍රිකට් කණ්ඩායම වෙළෙඳ සේවා තරගාවලියේ හොඳම කණ්ඩායම කිරීමේ වගකීමයි.

1983 සිට 1987 ලෝක කුසලන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා පිලේ නායකයා වූ දුලිප් මෙන්ඩිස් මහතා 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුවා ද විය. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් ද කටයුතු කළ හෙතෙම, මේ වන විට ඕමානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අන්තර්ජාතික පිටියේදී යන්තමින් හිස එසැවීම ආරම්භ කළ, 80 දශකයේදී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් තිබුණේ නැත. අන්තර්ජාතික තරගයක් ක්‍රීඩා කරන දිනයක් වෙනුවෙන් ගෙවන ලද්දේ රුපියල් 200 කි. එය දින 4 ක ටෙස්ට් තරගයක් නම් රුපියල් 800 ක් ද එක්දින තරගයක් නම් රුපියල් 200 ක්ද විය.  1982 දී ටෙස්ට් වරම් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1987 දක්වාම ක්‍රීඩා කර තිබුණේ තරග 25 ක් පමණි. එබැවින් ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙනත් රැකියා කිරීමට සිදුව තිබිණ.

(අද වන විට වාර්ෂික කොන්ත්‍රාත්තුත් හිමි ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට එක්දින තරගයක් වෙනුවෙන් ඩොලර් 4000 ක දීමනාවක් ගෙවනු ලැබේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 8 ඉක්මවන්නකි - කාලය මැව් වෙනසක අරුමය)

අද මෙන් පහසුකම් බහුල නොවූ 80 දශකයේ ක්‍රීඩකයෝ සැමදාම රැකියාවට ගියහ. හවස් වරුවේ කාර්යාලයෙන් ලැබෙන කෙටි නිවාඩුව (සවස 3.00 ක් පසුව) ඇතිව හෝ නැතිව ක්‍රීඩකයෝ පුහුණුවීම් කරා ගියහ. ඒ කාලයේදී ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 100 කට ආසන්න පිරිසක් රාජා මහේන්ද්‍රන් මහතාගේ ආයතනයේ සේවය කළහ. ඔවුන්ට රැකියා දී තිබුණේ ශ්‍රමය සූරාගන්නට නොව, ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙසින් දියුණුවීම අරමුණු කරගනිමිනි. ඔවුන් අතර සිටියේ දුලිප් මෙන්ඩිස්, සිදත් වෙත්තමුණි, රෝයි ඩයස් සහ අසන්ත ද මැල් වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි පතාක යෝධයෝත් සිටියහ.

හැත්තෑව දශකය අගදී, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉවත් වීමත් සමගින්ම වාගේ, ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි මහතාට මහාරාජා ආයතනයේ රැකියාවක් ලැබිණ. දිනෙක වෙත්තමුණි මහතාට සිය ආයතන ප්‍රධානියා මුණගැසිණ.
“ආ.. සිදත්... කොහේද මේ යන්නේ.... ”

“වැඩ මඟහැරියට නම් කමක් නෑ හැබැයි ක්‍රිකට් ප්‍රැක්ටිස් මඟ ඇරලා මට අහුවෙනවා එහෙම නෙමේ...” රාජා මහේන්ද්‍රන් මහතා සිය තරුණ සේවකයාට කළේ අවවාදයකට වඩා අනතුරු ඇඟවීමකි.

පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය ප්‍රධානියාට අදටත් ගරු කරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ එතෙක් - මෙතෙක් සිටි විශිෂ්ටතම සභාපතිවරයා යයි අදටත් තුඩ තුඩ කියැවෙන, නැසීගිය ගාමිණී දිසානායක මහතාගේ උපසභාපතිවරයා වූයේද කිලී මහාරාජා මහතාය.

“1984 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ ලද සාර්ථකත්වය පසුපස තිබූ රහස ඔහුයි. අපි එංගලන්තයට යන්නත් ඉස්සරවෙලා ඔහු සියල්ලම බාරගත්තා. ඔහු ක්‍රීඩකයන් බලාගත් විදිය වෙනස්. ඔහු ක්‍රීඩකයන්ට ඒ තරමටම ආදරෙයි. ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය දිනෙන් දන වැඩි කළා. ටික දවසක් යනකොට, ඔහු වෙනුවෙනුත් මොනවා හරි කරන්න ඕනා කියන තැනට ක්‍රීඩකයන් තල්ලු වුණා” යයි 84 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ නායකයා ඩේලි එෆ්ටී පුවවත් පතට පවසා තිබිණ.

ලෝඩ්ස් පිටියේදී පිට පිටම ශතක දෙකක් ලබාගැනීමේ ආසන්නයටම පැමිණි දුලිප් මෙන්ඩිස්  (111 සහ 94) මහතාගේ කතාවට ඌණ පූරණය, දින දෙකහමාරක් පුරා ඉයන් බොතම් - බොබ් විලිස් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන්ගේ නළලත රැළි නැංවූ සිදත් වෙත්තමුණි (190) මහතාගෙනි.

“අපි එංගලන්තයට යන්න කලින්, ඔහු අපි පස්දෙනෙක්ව විතර එංගලන්තයට එක්කරගෙන ගිහින් ගෙදරක නවත්වලා, අපට පුහුණුවීම් වලට අවස්ථාව ලබා දුන්නා. ඒ අතරවාරයේදී එම්.සී.සී. පිල වෙනුවෙන් ආරාධිතයකු ලෙසින් මම ක්‍රීඩා කරලා ශතකයකුත් ගන්න පුළුවන් වුණා”

“ඒ වගේ සාර්ථකත්වයක් අපට ලැබුණේ ඒ කිසි දෙයක් වෙනුවෙන් වියදම් කරන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට හැකියාවක් නොතිබුණ කාලයේ... ඒ හැමදෙයක්ම අපට ලැබුණේ පෞද්ගලික උනන්දුව සහ කැපවීම මතයි” යයිද සිදත් වෙත්තමුණි මහතා පැවසීය.

වසර ගණනාවක්ම ජාතික තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයා වූත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරුවා වූත් අසන්ත ද මැල් මහතා පවසන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් උපරිම මෙහෙවරක් කළ දෙදෙනා නැසීගිය ගාමිණී දිසානායක මහතා සහ රාජා මහේන්ද්‍රන් මහතාය.

“84 එංගලන්ත සංචාරයට ඉස්සරවෙලා මායි තවත් 4 දෙනකුයි එංගලන්තෙට එක්කගෙන ගිහින් සුමාන දෙකක් තිස්සේ එයාගේ ගෙදරක නවත්වලා අපිව ලෝඩ්ස් ක්‍රිකට් පාසලේ පුහුණුවීම් වලට යැව්වා. අපි නැවතිලා හිටියේ ශාන්ත ජෝන් වුඩ්ස් හි (ලෝඩ්ස් ක්‍රීඩාංගණයට ඇවිදින දුරින්) ක්‍රීඩාංගණයක. එදා මාත් එක්ක රන්ජන් (මඩුගල්ලේ), සිදත්, රොෂාන් (මහානාම), හා අරවින්දත් එංගලන්තෙට ගියා” යයි ද අසන්ත ද මැල් මහතා පැවසීය.

අරවින්ද ද සිල්වාගේ මංගල ටෙස්ට් තරගය වූයේත් ශ්‍රී ලංකා කණ්ඩායම අති විශිෂ්ට දස්කම් පෙන්වූ 84 ලෝඩ්ස් තරගයයි.

70 දශකය අගභාගයේදී වෙළෙඳ සේවා තරගාවලිය සඳහා සිය ආයතනයෙන්  ක්‍රිකට් කණ්ඩායම් දෙකක් නිර්මාණය කළ ඔහු එක් එක් තරග වලදී ශතක ලබාගන්නා පිතිකරුවන්ට මෙන්ම කඩුලු 5 ක් දවාගන්නා පන්දු යවන්නන්ට ත්‍යාග ලෙසින් ඔවුන්ගේ නිවෙස් වලට චෙක්පත් යැවීමටද කටයුතු කළේය. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ ක්‍රීඩකයන් තව තවත් දස්කම් කෙරේ ලොල්වීමයි.

දුලිප්, සිදත්, අසන්ත සහ රෝයි ඩයස්ලාගේ පරපුරේ අයට පමණක් නොව, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය පරපුරේ අයද රාජා මහේන්ද්‍රන් මහතාගේ ක්‍රිකට් ප්‍රේමයේ උත්තුංග ප්‍රතිඵල ලැබූවෝ වෙති. එවැනි ක්‍රීඩකයන් පුහුණු සැසි සඳහා විදේශයන් වෙත යැවීමට රාජා මහේන්ද්‍රන් මහතා විශේෂ උනන්දුවක් දැක්වීය.

1983 දී ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා ගෙන්වා ගැනීමට හිටපු සභාපති ගාමිණී දිසානායක මහතා පියවර ගත්තේය. ඒ වෙනුවෙන් විශාල මෙහෙයක් කළේ අනෙකකු නොව රාජා මහේන්ද්‍රන් මහතාය.

ඉන්දියාවේ නම් ක්‍රිකට් ‘මහාරාජා’ ලා කිහිප දෙනෙක්ම සිටිති. ඉන්දියාවේ ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය වන ‘රංජි කුසලාන’ තරගාවලියෙන් සිහිපත් කෙරෙන රංජිත්සිංජි 1907 සිට 1933 දක්වා ඉන්දියාවේ නවනගර් හි මහාරාජා විය.

ශ්‍රී ලංකාවේත් එකම එක ක්‍රිකට් මහාරාජා කෙනෙකි. ඒ 70 දශකය අගභාගයේ සිටම පසුගිය ඉරිදා දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේමීන්නේ හදවත් තුළ රජකළ, රාජා මහේන්ද්‍රන් හෙවත් ‘කිලී මහාරාජා’ ය.

 


අදහස් (2)

“කිලී” නම් වූ ක්‍රිකට් මහාරාජා
  • SL Monday, 26 July 2021 08:43 PM

    කිලී මහත්තයට බැන්නට ඔහුගේ රට වෙනුවෙන් කරපු සේවය කවුරුවත් ප්‍රසිද්ධියේ කතා කලේ නැහැ... නිවන් සුව !!

    Reply 0       0

    Sam Thursday, 12 August 2021 09:24 AM

    සමහරක් දේශපාලකයින් කිලීට බැන බැන හිටියාට, එයා කලගුණ දන්නා කෙනෙක්.. මේ මනුස්සයා මැරෙනකල් මේ ගැන ප්‍රසිද්ධියේ කතාකළේ නැහැ.. අර්ජුන, දුලිප්ලා වගේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇරෙන්න....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.