Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features සිත් පිටියේ සදා රැඳෙන වර්ණපුර

සිත් පිටියේ සදා රැඳෙන වර්ණපුර

editorial - 2021 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

රූපවාහිනිය ගැන අහලාවත් නොතිබූ කාලයේ ගුවන් විදුලිය අසාගෙන අත්පොළසන් දෙන්නන්ගේ උද්දාමය වෙනුවෙන් පන්දුව හතරේ සීමාවට යැව්වේ බන්දුල වර්ණපුරය.

වර්ණපුර කී‍්‍රඩා කළේ ටෙස්ට් තරග 4 ක් සහ එක්දින තරග 12 ක් පමණක් නමුත් බන්දුලගේ කි‍්‍රකට් වික‍්‍රමාන්විතයන් බොහොමයක් තිබුණේ ශී‍්‍ර ලංකාව ටෙස්ට් වරම් ලැබීමට පොරතුවය. ඒවාගේ අතීතය ඔහු කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් කී‍්‍රඩා කළ 1970 දශකයේ මුල් භාගය තෙක්ම දිවගොස් තිබිණ.

ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් නායකයා ලෙසින් බොහෝ දෙනාගේ ගෞරව බහුමානයට පාත‍්‍ර වන බන්දුල වර්ණපුර මහතාව වැඩි දෙනා දන්නේ ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් පන්දුවට මුහුණ දුන් කී‍්‍රඩකයා මෙන්ම ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලබාගත් පිතිකරුවා වශයෙනි. එහෙත් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයකදී ටෙස්ට් වරම් හිමි කණ්ඩායමක් පළමු වරට පරාජය කළ නායකයාද ඔහුය. ඒ 1979 දී එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයකදී ශී‍්‍රනිවාස් වෙන්කට්රාඝවන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල පරාජය කරමිනි.

හැත්තෑව දශකය අග භාගයේදී එංගලන්ත කණ්ඩායම සමගින් ශී‍්‍ර ලංකාවට පැමිණි ටෝනි ග්‍රෙග් (එංගලන්ත පිලේ හිටපු නායකයා මෙන්ම පසුව කි‍්‍රකට් විස්තර විචාරකයා* කියා සිටියේ ඉන්දියාවේ සුනිල් ගවස්කාර්ගෙන් පසුව තමා දුටු හොඳම ආසියානු ආරම්භක පිතිකරුවා බන්දුල වරණපුර බවයි. එහෙත් 79 දී ගාල්ලේ පැවැති තරගයකදී කොදෙව් පිලේ වේග පන්දු යවන කී‍්‍රඩක සිල්වෙල්ටර් ක්ලාක්ගේ පන්දුවක් නළලේ වැදීමෙන් පසුව වර්ණපුරගේ පිත්ත තරමක් පසුබෑවේය.

”මම ඒ තරගයේ 12 වැනි කී‍්‍රඩකයා වශයෙන් හිටියේ.. ඒක දකින්නත් බය හිතෙන තරම් දෙයක්. ඒ පන්දුව වැදුණාට පස්සේ බන්දුල පැය 6 ක් සිහිය නැතිව හිටියා. අපි එයා දිහා බලන්නත් බය වෙලා හිටියේ” යයි 1979 දී තමන් සියැසින් දුටු සිදුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ මංගල ටෙස්ට් තරගයේදී බන්දුලයේ ආරම්භක පිතිකරු සගයා වූ සිදත් වෙත්තමුණි මහතා පැවසීය.

සිල්වෙස්ටර් ක්ලාක් යනු 70 දශකය අගදී කොදෙව් කණ්ඩායමේ සිටි ඉතාමත්ම වේගවත් පන්දු යවන්නෙකි. කොදෙව් වේග පන්දු බලඇණියේ ඉදිරිපෙළ සාමාජිකයෙකි.

”ඒ පන්දුව වැදුණායින් පස්සේ ඒක බන්දුලගේ පිතිහරඹයට විශාල බලපෑමක් කළා. එදා ඉඳලා එයාගේ සුපුරුදු දස්කම් තරමක් ගිළිහී ගියා. ඒත් අද වගේ හිස් ආවරණ සහ දර්ශන තිර නොතිබූ ඒ කාලයේදී කැප් තොප්පියක් දාගෙන වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන්න ආයෙමත් කි‍්‍රකට් පිටියට එන්න තරම් ඔහුට අති විශාල ධෛර්යයක් තිබුණා” යයිද වෙත්තමුණි මහතා පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ගෝපාලන් කුසලාන තරගයක් වෙනුවෙන් සිදත් වෙත්තමුණි ජාතික කණ්ඩායමට පිවිසි 1975 දීත් ශී‍්‍ර ලංකා පිලේ නායකයා වූයේ බන්දුල වර්ණපුරයි.

බන්දුල වර්ණපුර කි‍්‍රකට් පිටියේ සිට ගාල්ලේ මහ රෝහලට යැවූ 1979 තරගයේ විස්තර විචාරයේ යෙදෙමින් සිටියේ ප‍්‍රවීන විස්තර විචාරක පාලිත පෙරේරා මහතාය. පාලිත පෙරේරා මහතාගේ වචන වලින්ම කියැවෙන පරිදි බන්දුල වර්ණපුර මුහුණ දුන් සිදුවීම මෙසේය.

”සිල්වෙස්ටර් පන්දු යවමින් හිටියේ කොටු බැම්ම පැත්තෙන්. බන්දුල පන්දුවට පහර දුන්නේ ගාලූ පාර පැත්තේ ඉඳන්. ඒ කාලයේ දර්ශන තිර නෑ. හිස් ආවරණ (හෙල්මට්) නෑ. පන්දුව වැදුණේ බන්දුලගේ නළලේ. පන්දුව වැදුණ ගමන්ම බන්දුල පිට්ටනිය මැද්දේ ඇදගෙන වැටුණා”

”පස්සේ එයාව උස්සගෙන කී‍්‍රඩාගාරයට ආවත් එයාට සිහිය තබුණේ නෑ. කී‍්‍රඩාංගණය අසලට ගිලන් රථයක් ගෙන්වාගෙන බන්දුලව උස්සලා ගිලන් රථයට දාගත්ත වෙලාවේ ඔහුගේ ඔලූව තියාගෙන හිටියේ ජයන්ත සෙනෙවිරත්නගේ උකුල උඩ. මමත් ඒ වෙලාවේ හිටපු තැන ඉඳන්ම සිද්ධ වෙන දේගැන විස්තර ගුවන් විදුලිය ඔස්සේ කියමින් හිටියේ... ඒත් බන්දුලට සිහිය තිබුණේ නෑ” යයි කී පාලිත පෙරේරා මහතා...

”පස්සේ වෛද්‍යවරු කිව්වා බන්දුල සෑහෙන්න වාසනාවන්තයි කියලා. මොකද ක්ලාක්ගේ පන්දුව වැදිලා තිබුණේ බන්දුලගේ ඇසට යන්තමින් ඉහළින්. ඒත් පන්දුව තවත් අඟල් භාගයක් පහළින් වැදුණා නම් ඔහුගේ ජීවිතය එතැනින් නිමා වන්නට තිබුණා කියලා වෛද්‍යවරු කිව්වා” යයිද පැවසීය.

කෙසේ වෙතත් එයින් වසර දෙකකට පමණ පසුව අළු බඳුන තරගාවලිය සඳහා එංගලන්තයට යමින් සිටි කිම් හියුස්ගේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ශී‍්‍ර ලංකාවට ගොඩබැස්සේ...... ”ආ... ශී‍්‍ර ලංකාවේත් කි‍්‍රකට් ගහන්න දන්න අය ඉන්නවා කියලා ආරංචියි” යයි පුංචි සරදමක් ද කරමිනි. සුප‍්‍රකට කි‍්‍රකට් ලේඛක රොබින් මාලර් මහතාද එතැන සිටියේය.

 ඕස්ටේ‍්‍රලියානු පිලේ එම සංචාරයේදි කොළඹ පී. සරවනමුත්තු පිටියේදී පැවැති තරගය පරාජය වූ නමුත් එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වූයේය. තරගයේ වීරයා වූයේ ලකුණු 106 ක් ලබාගනිමින් එක්දින තරගයදී ශී‍්‍ර ලංකාවේ පළමු ශතකය වාර්තා කළ බන්දුල වර්ණපුරයි. එයින් මාස දෙකකට පසුව එංගලන්තයේදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික මහ සභා රැුස්වීමේදී ශී‍්‍ර ලංකාවට ටෙස්ට් තත්ත්වය ප‍්‍රදානය කෙරිණ.

ශී‍්‍ර ලංකාවට ටෙස්ට් වරම් පිරිනැමිය යුතු නැතැයි කියමින් සිටි රොබින් මාලර් මහතාගේ සිතිවිලි වෙනස් වූයේ මෙම තරගයෙන් පසුව බව කියැවේ.

1983 දී කැරළිකාර දකුණු අපි‍්‍රකානු සංචාරය හේතුවෙන් බන්දුල වර්ණපුරගේ ටෙස්ට් දිවිය කෙටි එකක් විය. තරග 4 කට සීමා වූ ටෙස්ට් දිවියේදී ඔහු ලබාගත්තේ ලකුණු 96 ක් පමණි. එක්දින තරග 12 කදී ලබාගත්තේ ලකුණු 80 කි. එහෙත් බන්දුල වර්ණපුර සැලකුණේ අතිශූර කි‍්‍රකට් උපායශීලියකු මෙන්ම නායකයකු වශයෙනි.

වර්ණපුරගේ නායකත්වය යටතේ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජය, එවකට ශී‍්‍ර ලංකාවේ පැවැති ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලිය වූ ‘සරවනමුත්තු කුසලාන’ තරගාවලියේ ශූරතාව දෙවතාවක්ම දිනාගත්තේය. ලලිත් කළුපෙරුම, ශබීර් අස්ගර්අලි, සුනිල් ජයසිංහ, අජිත් ද සිල්වා, ඞී. එස්. දසිල්වා, අනුර රණසිංහ සහ ෆ්ලේවියන් අපෝන්සු වැනි 70 දශකය අගභාගයේ දැවැන්තයෝ බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළහ.
 
වර්ෂ 1953 දී මාර්තු 01 වැනිදා රඹුක්කනදී උපත ලද බන්දුල වර්ණපුර කොළඹ නාලන්දා විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසියේය. දකුණත් ආරම්භක පිතිකරුවකු මෙන්ම දකුණතින් මඳ වේග පන්දු යවන්නකු වූ හෙතෙම, ආනන්ද - නාලන්දා සුලෝහිත සංග‍්‍රාමයේදීත් නොමැකෙන සටහන් තැබූවෙකි.

සුලෝහිත සංග‍්‍රාම ඉතිහාසයේදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූයේ 1928 දී බී.එම්. ජයතිලක ලබාගත් ලකුණු 111 යි. 1950 දී කාල් ඔබේසේකර තවත් ලකුණු 111 ක් ලබාගනිමින් එම වාර්තාව සම කළ නමුත් බිඳවැටීමක් සිදු නොවිණ. එම වාර්තාව බිඳ වැටුණේ 1972 සුලෝහිත සංග‍්‍රාමයේදී බන්දුල වර්ණපුර නොදැවී ලබාගත් ලකුණු 118 නි.

ජීවිතය සැහැල්ලවෙන් ගත් වර්ණපුර අභියෝග හමුවේ නොසැළුනු නායකයෙකි. 1983 දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් කණ්ඩායමක් සමගින් දකුණු අපි‍්‍රකාවේ සංචාරයක යෙදීම හේතුවෙන් වසර 25 ක තහනමකට ලක්වූවද 1990 දී තහනමෙන් මිදුණ පසු ආසියානු කි‍්‍රකට් සම්මේලනයේ තරග තීරකවරයකු සහ පරිපාලන නිලධාරියකු වශයෙන් දිගු කලක් සේවය කළේය. කි‍්‍රකට් පුහුණුකරුවකු ලෙසින් සහ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරුවකු ලෙසින් ද කටයුතු කළ වර්ණපුර මහතා මිය යන විටත් බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරමින් සිටියේය.

පසුගියදා පැවැති කි‍්‍රකට් නිලවරණයේදී සභාපති තනතුරටත් නාමයෝජනා පත‍්‍ර බාරදී සිටියද, පවතින තත්ත්වය වටහාගත් වර්ණපුර මහතා අවසන් මොහොතේදී තරගයෙන් ඉවත් විය.

”මා නාලන්දා විද්‍යාලය වෙනුවෙන් කී‍්‍රඩා කළ අවධියේදී ඔහු මගේ පුහුණුකරු වුණා. මා කි‍්‍රකට් කී‍්‍රඩකයකු ලෙසින් විතරක් නෙමේ පුද්ගලයෙක් වශයෙන් වුණත් වර්ධනය වුණේ ඔහුගේ බලපෑම මතයි” යයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වූ මහේල ජයවර්ධන ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබිණ.

නාලන්දාවෙන් සමුගැනීමෙන් දෙවසරකට පසුව, 1975 දී, ශී‍්‍ර ලංකාවේ මංගල එක්දින අන්තර්ජාතික තරගයටත් කී‍්‍රඩා කළ බන්දුල වර්ණපුර, 1975 සුප‍්‍රකට  ඕවල් තරගයේදී ජෙෆ් තොම්සන් සහ ඩෙනිස් ලිලී හමුවේ පන්දු 39 කින් වික‍්‍රමාන්විත ලකුණු 31 ක් ලබාගත්තේය.  ඕවර 60 කදී ලකුණු 329 ක් හඹා යමින් සිටි ශී‍්‍ර ලංකාවේ පිතිකරුවන් තරගය ජයගනිතැයි බියෙන් ජෙෆ් තොම්සන් විසින් සුනිල් වෙත්තමුණි සහ දුලිප් මෙන්ඩිස් දෙදෙනාවම ලන්ඩන් නුවර රෝහලට යැවුණේත් මෙම තරගයේදීය.

සිංහල කි‍්‍රකට් විස්තර විචාරයකදී පළමු වැනි විශේෂඥ විස්තර විචාරකයා වූයේත් බන්දුල වර්ණපුරය. ඒ 1980 මාර්තු මාසයේදී ගාල්ලේ පැවැති රිච්මන්ඞ් - මහින්ද මහ කි‍්‍රකට් තරගයේ විශේෂඥ විස්තර විචාරකයා වශයෙන් එන්න’යි පාලිත පෙරේරා කළ ඉල්ලීමක් අනුව බන්දුල එහි ගියේ විස්තර විචාරයට සහභාගි වීමට වඩා සිය බිරිඳ වූ හේමමාලි දැකගැනීමේ අපේක්‍ෂාවෙනි. බන්දුල එවකට විවාහ වී සිටියේ නැත.

සුප‍්‍රකට සිනමා විචාරක අජිත් ගලප්පත්ති මහතා ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් නායකයා ගැන සටහනක් තබමින් කියන්නේ ”දිවි පිටියෙන් නික්ම ගියද බන්දුල වර්ණපුරයෝ සිත් පිටියේ නොදැවීම කී‍්‍රඩා කරන්නාහුය” කියාය.


”බිඳ වැටුණද නොනිමි ඉනිම
දිවගිය මුත් කඩුලූ අතර
නිමා කළ ද දිවි තරගය
ජය පැරදුම් තොරව මෙලෙස
නොදැවී සිත් පිටියෙහි ඔබ
වේ බන්දුල පුර වරුණය” යයි අජිත් ගලප්පත්ති ලියා තිබිණ.

සටහන - දමින්ද විජේසූරිය

 


අදහස් (1)

සිත් පිටියේ සදා රැඳෙන වර්ණපුර
  • SL Thursday, 21 October 2021 10:17 PM

    අපි පොඩි කාලේ ක්‍රිකට් මැච් එකක් දැකලා නැතත්, බන්දුල වර්ණපුර, අජිත් ද සිල්වා, ඩී.එස්.දී සිල්වා, අනුර රණසිංහගේ නම් ඉතා ජනප්‍රියයි. ඊට පසුව තමයි... දුලිප්, රෝයි, සිදත්, විනෝදන් ජෝන්, රොමේෂ් රත්නායක වගේ නම් ආවේ. ඒ දවස් වල ක්‍රිකට් වලට සල්ලි නැතත් හරි ජාතික අභිමානයකින් තමයි හැමෝම සෙල්ලම් කලේ. ගාමිණි දිසානායක මහත්තයාත්, කිලි මහරජාත් ඉතින් තිරය පිටිපස්සේ හිටපු වීරයින්. බන්දුල වර්ණපුර, ඔබට නිවන් සුව !!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.