Last Update  :  2021-07-25 14:41:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Features ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය

ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය

editorial - 2021 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

(දමින්ද විජේසූරිය)


ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලාන දිනාගෙන අදට (මාර්තු මස 17 වැනිදා) හරියටම වසර 25 කි. එනම් අඩසියවස් අඩකි. ශතවර්ශයක, අඩකින් අඩක් ගෙවී යන අද දිනයේදී තැබෙන මේ සටහන ඒ සාදානුස්මරණීය ජයග්‍රහණයේ සැමරුම වෙනුවෙනි.

අර්ජුන රණතුංග ඇතුළු පිරිවර පිටියට පිවිසීමටත් පෙර සිටම ආනා පුංචිහේවා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු සටනට බැස සිටියහ. ලෝක කුසලාන තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ කොදෙව් පිල ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැතිනම් එම තරග දෙක ජයගැනීම වෙනුවෙන් ප්‍රසාද ලකුණු 4 අපිට අවශ්‍ය බව ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ආනා පුංචිහේවා මහතා තරයේම කියා සිටියේය. එහෙත් තමන්ට ගන්නට බලා සිටි ප්‍රසාද ලකුණු 2 නිකම්ම ශ්‍රී ලංකාවට පූජා කිරීමට ඕස්ට්‍රේලියානුවෝ හෝ කොදෙව්වෝ එකඟ නොවූහ.

මෙම තත්ත්වය පිල්කොම් හෙවත් පාකිස්තානු - ඉන්දියානු - ශ්‍රී ලංකා ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවට (පිල්කොම්) පමණක් නොව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත් හිසරදයක් වෙමින් පැවැතිණ. එබැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශ්‍රීමත් ක්ලයිඩ් වෝල්කොට් මහතා කියා සිටියේ තරගාවලියේ සමාරම්භක උළෙල දක්වා අවදානම් සහගත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසසි.
 
ලෝකයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් පවා මැදිහත් වූ මෙම අර්බුදය දින කිහිපයක් තිස්සේ ඇදී ගිය නමුත් ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණු 4 නොදී බැරි තැනට පිල්කොම් තල්ලු වී ගියේය. ලෝක කුසලාන තරගාවලියක් දැක ගැනීමට ශ්‍රී ලාංකිකයන් පුල පුලා බලා සිටි නමුත් පෙබරවාරි 17 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණි. එබැවින් තරගයේ ලකුණු 2 ශ්‍රී ලංකාවට හිමිවිය.

දින හතරකට පසුව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය සැකකෙළි සිරිගත්තේ සිම්බාබ්වේ පිල හමුවේ අරවින්ද ද සිල්වා (91) සහ අසංක ගුරුසිංහ (87) කළ පිතිහරඹයෙනි. 25 වැනිදා කොදෙව් පිල ශ්‍රී ලංකාවට නොපැමිණි හෙයින් ප්‍රසාද ලකුණු 2 ම ශ්‍රී ලංකාවට ලැබිණ.

මාර්තු 2 වැනිදා නවදිල්ලියේ ෆිරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී සචින් තෙන්ඩුල්කාර් ශතකයක් ලබාගත්තේ ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ලකුණු 272 ක් තරම් ඈතකට ඇදගෙන යමිනි. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවක් ගැන හිතලාවත් නොතිබූ ඒ කාලයේ ලකුණු 260 පැන්නීම යනු තරගයේ ජයග්‍රහණයෙන් අඩක් අල්ලට ගැනීමකි. එහෙත් පන්දු 76 කින් ලකුණු 79 ක් ලබාගත් ජයසූරිය ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේ මනෝජ් ප්‍රභාකර්ගේ තරග දිවියත් විනාශ කරමිනි. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 131 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ හෂාන් තිලකරත්න (නොදැවී 76) සහ අර්ජුන රණතුංග (නොදැවී 46) දෙදෙනා මහානාම පිටියට නොකැඳවාම තරගය අහවර කළහ.

මාර්තු 6 වැනිදා අස්ගිරිය එකම ලකුණු සැණකෙළියකි.
සනත් - කළුෑ සම්බන්ධතාව බලන්නට නරඹන්නන් පිටියේ ලකුණු පුවරුව ආසන්නයේ දොරටු කඩාගෙන ඇතුළට එද්දී විනිසුරුවරුන්ගේ දෑත් රිදුම් දෙමින් තිබුණේ හතරේ - හයේ පහර සංඥා කිරීමෙනි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දු 45 කදී ලකුණු 83 ක් පුවරුවට එක්කළ අතර ශ්‍රී ලංකා ඉනිම හතරේ පහර 43 කින් සහ හයේ පහර 14 කින් සමන්විත විය.

දින කිහිපයකට ඉහතදී ප්‍රබල කොදෙව්වන් පරාජය කිරීමෙන් උදම්ව සිටි කෙන්යානු පන්දු යවන්නන්ට රිස්ස යන්නට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිම නිමා කළේ එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව (5/398) වර්තා කරමින් නව ලෝක වාර්තාවක්ද පිහිටුවමිනි.

මූලික වටයේ තරග 5 කදී ලකුණු 10 ම ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතවම අර්ධ අවසන් පූර්ව වටයට ගියේය. තරගය පැවැති ලාහෝර් නුවර බලා ගිය ගුවන් යානයේ සිටි සනත් ජයසූරිය මගීන් වෙනුවෙන් තිබූ සඟරාව කියවමින් සිටියේය. හදිසියේම එහි තිබූ ඉහළම පෙලැන්තියේ අත්ඔරලෝසුවක් දුටු ආරම්භක පිතිකරුවා තමන් අසළින්ම අසුන්ගෙන සිටි තේරීම් කමිටු සාමාජික සිදත් වෙත්තමුණි  මහතාට එය පෙන්වා විනෝදයට මෙන් මෙසේ විමසීය.

“සිදත් අයියා... මම හෙට (එංගලන්තයට එරෙහිව) ලකුණු 50 ක් ගත්තොත් මට මේ ඔරලෝසුව අරන් දෙනවද”..

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගත් සිදත් දුන්නේ පිළිතුරක් නොව, අභියෝගයකි.

“ඔයා ඕවර 15 ක් බැට් කළොත් ඔරලෝසුව ඔයාගේ...ඒක මගේ පොරොන්දුවක්”
ෆයිසලාබාද්හිදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ලෝක එක්දින තරග ඉතිහාසයේ කඩයිම් තරගයකි. සනත් ජයසූරිය පන්දු 44 කදී ලබාගත් ලකුණු 82 එංගලන්ත නායක මයිකල් ඇතර්ටන්ගේ දෑස් නිලංකාර කළේය.

“මේගොල්ලෝ අන්තිම ඕවර වලදී පහර දෙනවා වගේ තමයි පළමු ඕවර වලදීත් ගහන්නේ... මේ විකාර නීතිය ක්‍රිකට් පොතෙන් අතුගාලා දාන්න ඕනේ” යයි මයිකල් ඇතර්ටන් තරගයෙන් පසුව කීවේය.  

ඉන්දියාවට එරෙහිව කල්කටාවේදී අවසන් පූර්ව තරගය පැවැතියේ මාර්තු 13 වැනි බදාදාය.  
“දින ගණනාවක් කුසගින්නේ සිටි ව්‍යාඝ්‍රයන් ලෙසින් ලකුණු දඩයමේ යන ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමේ අටියෙන්, කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ තණතීරුවට විශාල ලෙස ජලය යෙදීමට ක්‍රීඩංගණ බලධාරීන් සඳුදා පියවර ගත් බව වාර්තාවේ” යයි කල්කටාවෙන් පැමිණි රොයිටර් වාර්තාවක් මූලාශ්‍ර කරගනිමින්, එදින ලංකාදීප පුවත් පතේ සටහන් වී තිබිණ.

ඒ වන විට ලෝකයේ පැවැති විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ තරගයක් නැරඹිය හැකි ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 100,000 කි. ලක්ෂයක් දෙනාගේ ඔල්වරසන් මැද, යැවුණු පළමු ඕවර තුනේදී සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ජවගල් ශ්‍රීනාත් සමත් වූවද අරවින්දගේ අධිෂ්ඨානය සෙලවීමට ජවගල්ගේ ජවය ප්‍රමාණවත් නොවීය.

අරවින්ද එදා ලබාගත්තේ ලකුණු 66 කි. එහෙත් අරවින්දගේ ක්‍රිකට් දිවියේ සදා නොමැළවෙන අරවින්දයද එයම විය. අරවින්දගේ වෘත්තීය ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිම එය බව ඕනෑම ක්‍රිකට් විචාරකයකුගේ සෘජු තෝරා ගැනීමයි. ඒ වන තෙක් කිසිවකුගේ නෙත නොගැටුණු රොෂාන් මහානාම නම් වූ අලංකාර පිතිකරුවා, අරවින්ද දැවී යාමෙන් පසුව ඉනිමේ බර කරට ගත්තේ සටන්කාමීත්වය කුමක්ද යන්න මොනවට කියා පාමිනි.

ශ්‍රී ලංකා පිතිකරුවන් පාලනය කිරීමට තණතීරුවට වතුර දැමූ ඉන්දියානුවන්ට තමන්ගේම ක්‍රියාව බූමරංගයක් වූයේ ඉන්දීය ඉනිම ආරම්භ වීමෙන් පසුවය. සනත් ජයසූරිය ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගත් අතර ධර්මසේන, අරවින්ද සහ මුරලිදරන් කඩුල්ලක් බැගින් බෙදා ගත්හ. ලකුණු 252 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය පිලේ කඩුලු 8 ක් ලකුණු 120 කට දැවී යද්දී ක්‍රීඩාගාර ගිනිගන්නට විය. තරග තීරකවරයා වූ ක්ලයිව් ලොයිඩ් මහතා තරගයේ ජයග්‍රණය ශ්‍රී ලංකාවට තිළිණ කිරීමෙන් පසුව කඳුළු සලමින් ක්‍රීඩාගාරයට යනවා විනා වෙනත් කළ හැකි දෙයක් විනෝද් කම්බ්ලිට හෝ අනිල් කුම්බල්ට නොතිබිණ.

අවසන් තරගය පැවැති ලාහෝරය කොළඹ මෙන් විය.

අර්ධ අවසන් පූර්ව තරගයේදී තම කණ්ඩායම පරාජය උරුමකර දුන් ඉන්දියානුවන් අවසන් පූර්ව තරගයේදී පරාජය කළ හෙයින්, ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානුවන්ගේ වීරයෝ වූහ. අනෙක් අතට සලීම් මලික්ට තරග පාවාදීමේ චෝදනා එල්ල කළ ඕස්ටේ්‍රලියානුවන්ගෙන් ගැනීමට වාඩුවක්ද පාකිස්තානුවන්ට තිබිණ.

1992 ලෝක කුසලාන දිනාගත් නායක ඉම්රාන් ඛාන්ගේ උපදෙස්ද නොතකා, පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පින්නේ වාසියද ලැබිණ. අර්ජුනගේ උඩපන්දුවක් ෂේන් වෝන්ගේ දෑත් අතරින් ලෙස්සා ගියේ දඟ පන්දු යවන්නාට සරදම් කරමිනි. අරවින්දගේ ශතකයත්, ඉලක්කය බලා කළ අර්ජුනගේ ආක්‍රමණයත් නිසා ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 242 ක ඉලක්කය, පන්දු 22 ක් ඉතිරිව තිබියදී පසුකර යමින් ලෝක ශූරයෝ වූහ.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනාගැනීමේ සැබෑ ආරම්භය 1996 පෙබරවාරි 11 වැනිදා කල්කටාවේදී පැවැති සමාරම්භක උත්සවය හෝ පෙබරවාරි 17 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය නොවේ. එහි සැබෑ ආරම්භය 1987 දක්වාම ඈතට දිවයයි.

ඉන්දියාවේදී සහ පාකිස්තානයේදී පැවැති රිලයන්ස් ලෝක කුසලාන තරගාවලියේදී තරග සියල්ලම පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනසක් කරන ලදි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 8 දෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කර තරුණයන් රැසක් කණ්ඩායමට එකතු කෙරිණ.

රන්ජන් මඩුගල්ලේගේ නායකත්වයෙන් යුතුව, 1987-88 බෙන්සන් හෙජස් ලෝක ශූරතා තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය මෙම යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ තරගයට කෙතරම් ආදරය කළාද යත් අවසන් ඕවරයේදී හෝ ඕවර දෙකේදී තරගයක් පරාජය වූ කල්හි කණ්ඩායම් කාමරයට වී අඬා වැටුණහ. අර්ජුන, අරවින්ද, රොෂාන්, හෂාන්, සමග ගුරුසිංහත් ඒ අඬාවැටුණු කණ්ඩායමේ සිටියහ. කණ්ඩායමක් ලෙසින් තරග කිරීමත්, ජයග්‍රහණයට ලොල් වීමත් ආරම්භ වූයේ එතැනිනි.

එතැන් සිට ගෙවී ගිය වසර 5 පමණ කාලයේදී නායක මඩුගල්ලේත්, රුමේෂ් රත්නායක, රවී රත්නායක, වැනි ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් ක්‍රීඩාවෙන් සමුගත්හ. 1992 දී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුව කණ්ඩායමට එක්වූ සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයන් කණ්ඩායම ඇතුළත නොසෙල්වෙන සේ සිටුවන ලද්දේ 88 කණ්ඩායමෙන් ඉතිරිව සිටි ජ්‍යෙෂ්ඨයන් විසිනි.

අනෙක් අතට 1995-96 බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියේදී මුත්තයියා මුරලිදරන්ට කළ කෙණිහිලිකම් මෙන්ම ඊට පොරතුව පැවති ටෙස්ට් තරගාවලියේදී චමින්ද වාස් පන්දුව දමා ගසන්නේ යයි කළ චෝදනා ද ශ්‍රී ලංකා කණ්ඩායම එකිනෙකා කෙරේ තදින් බැඳ දැමූ කාරණා දෙකක් විය. එබැවින් 1996 පෙබරවාරි 11 දා කල්කටා නුවරදී ලෝක කුසලාන සමාරම්භක උත්සවය ආරම්භ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් පදම් වී සිටියේය.
එතැන් සිට කතාව ලෝකයාම දනී..

එහෙත්...
1975 දී එංගලන්තයේදී පැවැති මුල්ම ලෝක කුසලාන තරගාවලියේදී ජෙෆ් තොම්සන්ගේ පන්දුවක් හිසේ වැදීමෙන් රෝහල්ගතවූ දුලිප් මෙන්ඩිස් 1996 ජයග්‍රාහී කණ්ඩායමේ කළමණාකරුවා වී සිටීමත්, එදා (1975) තරගයේදීම තොම්සන් විසින් රෝහලට යවන ලද සුනිල් වෙත්තමුණි, 1996 ලෝක කුසලානය ගෙනෙන්නට ගුවන් යානයක් පදවාගෙන කොළඹ සිට ලාහෝර් බලා යාමත් දෛවයාගේ අතිශය සුන්දර නිර්මාණ බව නම් සටහන් කළ යුතුව තිබේ.

 

ඡායාරූප -
1996 ලෝක කුසලාන තරගාවලියේ නිල ඡායාරූප ශිල්පි ප්‍රසන්න හෙන්නායක...

 


අදහස් (0)

ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.