Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic හිටපු ශූරයෝ ජයග්‍රහණයකින් ගමන අරඹති
එල්.පී.එල්. - 2022

හිටපු ශූරයෝ ජයග්‍රහණයකින් ගමන අරඹති

editorial - 2022 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද  (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24 ක් ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. 

මින් පෙර පැවැති එල්.පී.එල්. තරගාවලි දෙකෙහිම ශූරයන් බවට පත්වූ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ, මෙම ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියටද ජයග්‍රාහී ප්‍රවේශයක් ලබාගැනීමට සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් නිලකුණු ඕවරයක්ද සමග ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත් බිනුර ප්‍රනාන්දු මෙන්ම ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳහෙළු විජයකාන්ත් වියස්කාන්ත්ද එම ජයග්‍රහණයේ කොටස්කරුවෝ වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස්කළද, සෙසු පිතිකරුවන්ගෙන් සහායක් නොලැබීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.  

නුවනිඳු ප්‍රනාන්දු (15) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය. එහෙත් නුවනිඳුගේ දැවී යෑමෙන් පසුව ලකුණු 21 ක් ඇතුළත තවත් කඩුලු 3 ක් බිඳ වැටීමෙන් ග්ලැඩියේටර්ස් ඉනිමේ කඩාවැටීම ආරම්භ විය. මුලු ලකුණු සංඛ්‍යාව 97 ක් වන විට ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස කුසල්ද දැවී ගියේ ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කර දමමිනි. 

කාසියේ වාසිය දිනූ ග්ලැඩියේටර්ස් නායක කුසල්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 137 ක් ලබාගත්තේය. එහිදී ජැෆ්නා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් වූ රහ්මනුල්ලා ගුර්බාස් (1) සහ අවිෂ්ක ප්‍රනාන්දු (9) ලකුණු 11 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වහබ් රියාස් සහ ඉමාඩ් වසීම් සමත් වූහ. 

දක්ෂ ලෙස ලකුණු අතරට පිවිසි ධනංජය ද සිල්වාට පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි. ජැෆ්නා ඉනිමේ නැංගුරම බවට පත්වූ ෂොයිබ් මලික් පන්දු 27 ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගනිමින් හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය. 

කොලර් කැඩ්මෝ (6) මෙන්ම නායක තිසර පෙරේරා (16) ද අසාර්ථක වෙද්දී ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 20 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 4 ක්ද සමගිනි. ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, වහබ් රියාස්, නුවන් ප්‍රදීප් සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින් බිඳහෙළමින් එහිදී ජැෆ්නා පිතිකරුවන් පීඩනයට පත් කළහ. 

ජැෆ්නා කිංග්ස් පිල - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 137
(ධනංජය ද සිල්වා 29, ෂොයිබ් මලික් 30, තිසර පෙරේරා 16, දුනිත් වෙල්ලාලගේ 30, ඉෆ්තිකාර් අහමඩ් 08/2, ඉමාඩ් වසීම් 22/2, වහබ් රියාස් 23/2, නුවන් ප්‍රදීප් 23/2 නුවන් තුෂාර 31/2) 

ගෝල් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 113 
(කුසල් මෙන්ඩිස් 51, නුවනිඳු ප්‍රනාන්දු 15, ඉමාඩ් වසීම් 17, බිනුර ප්‍රනාන්දු 22/3, විජයකාන්ත් වියස්කාන්ත් 20/2)

 


අදහස් (0)

හිටපු ශූරයෝ ජයග්‍රහණයකින් ගමන අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.