
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය නිමාවන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලකුණු 28.96 ක් ලබා සිටින පොලිස් ක්‍රීඩා සමාජයද, ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට ලකුණු 16.65 ක් ලබා සිටින ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයද සමත්ව සිටියි.
පළමු සතියේදී පානදුර කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් වාර්තා කළ පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි සතියේදී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියහ. ඒ එතෙක් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි කෝල්ට්ස් කණ්ඩායම එහි දෙවැනි ස්ථානයට ඇද දමමිනි.
පළමු සතියේ කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ ඒස් කැපිටල් ක්‍රීඩකයන්, ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි ඇත්තේ දෙවැනි සතියේදී එන්.සී.සී. කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබීමෙන් අනතුරුව වීම කැපී පෙනෙන සිදුවීමකි. ඒස් කැපිටල් කණ්ඩායමේ ඉහළ නැගීමත් සමග එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවූ ද්‍රවිඩ සංගම් කණ්ඩායමට දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.
දෙවැනි සතියෙදී පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබූ කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 12.945 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. ද්‍රවිඩ සංගම් කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ දෙවැනි සතියේදී මුවර්ස් කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලබා ලකුණු 14.785 කට හිමිකම් කියමිනි.
මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සී.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක සමත්ව සිටින අතර ඔහු ඉනිම් 3 ක් ක්‍රීඩා කරමින් ශතකයක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 230 කි. කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් ඉනිම් දෙකකදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 213 ක්ද, පොලිස් කණ්ඩායමේ දුලාෂ් උදයංග ඉනිම් 4 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 211 ක්ද රැස්කරමින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.
කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ඉනිම් 4 කදී කඩුලු 14 ක් බිඳහෙළමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. ඊට කඩුලු 5 බැගින් දවාගත් එක් අවස්ථාවක්ද ඇතුළත් වේ. පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර ඉනිම් 4 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සමග කඩුලු 13 ක්ද, කුරුණෑගල යොවුන් කණ්ඩායමේ චාමික එදිරිසිංහ ඉනිම් 3 කදී කඩුලු 5 බැගින් දවාගත් එක් අවස්ථාවක් සමග කඩුලු 12 ක්ද දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති.
තරගාවලියේ තෙවැනි සතිය හෙට (19 වැනිදා) ආරම්භ වන අතර එහිදී බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව කෝල්ට්ස් පිල එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, පොලිස් පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිල කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත්, පානදුර පිලට එරෙහිව නුගේගොඩ පිල කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදීත්, එන්.සී.සී. පිලට එරෙහිව මූවර්ස් පිල සී.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව බී.ආර්.සී. පිල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත්, කුරුණෑගල යොවුන් පිලට එරෙහිව බදුරලිය පිල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත් තරග වදිනු ඇත.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.