Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ රෙඩ්ස් කණ්ඩායම සමත් විය. අද (15 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් රෙඩ්ස් කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය රෙඩ්ස් ක්‍රීඩකයෝ ඕවර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත්හ. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ලසිත් කෘස්පුල්ලේ (25) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල්, ඉන් නොනැවතී වනිඳු හසරංග (නොදැවී 24) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් රෙඩ්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
පන්දු 15 කට මුහුණදුන් ලසිත් හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 14 කදී වාර්තා වූ වනිඳුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. කමිඳු මෙන්ඩිස් පන්දු 18 කින් ලකුණු 18 ක් රැස්කළේ හයේ පහරක් සමගිනි. එහිදී බ්ලූස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 34 කට කඩුලු 2 ක් දවාගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායමට රෙඩ්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. මහීෂ් තීක්ෂණ ලකුණු 22 කට කඩුලු 2 ක්ද, අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක්ද දවාගනිමින් බ්ලූස් පිතිකරුවන් පීඩනයට පත් කළහ.
බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 40 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක්ද, නායක ධනංජය ද සිල්වා පන්දු 30 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද රැස්කළහ.
තරගාවලියේ වීරයා ලෙස තරග 4 කදී කඩුලු 10 ක් දවාගත් අසිත ප්‍රනාන්දු සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරුවා සහ අවසන් තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස්ද, දක්ෂතම පන්දු යවන්නා ලෙස ප්‍රවීන් ජයවික්‍රමද සම්මාන ලැබූහ.
බ්ලූස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 136
(ළහිරු උදාර 37, ධනංජය ද සිල්වා 25, අෂේන් බණ්ඩාර නොදැවී 40, මහීෂ් තීක්ෂණ 22/2, අසිත ප්‍රනාන්දු 31/2)
රෙඩ්ස් පිල - ඕවර 16.5 කදී කඩුලු 3 කට 137
(ලසිත් කෘස්පුල්ලේ 25, කුසල් මෙන්ඩිස් නොදැවී 56, කමිඳු මෙන්ඩිස් 18, වනිඳු හසරංග නොදැවී 24, ප්‍රවීන් ජයවික්‍රම 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.