Last Update  :  2025-06-30 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගාගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

සංගාගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දිනයේ යැවූ පළමු පන්දුවටම දුන් පහසු උඩපන්දුව බිම දැමීම නිසා එයින් අගනා ප්‍රතිඵල නෙළාගත් කුමාර් සංගක්කාර (නොදැවී 189) සිය 10 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගනිමින් ලෝකයේ ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් අතරේ දෙවැනි ස්ථානයට පත්විය. වසර 137 ක ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසවේ වැඩිම් ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් අතර මුල් ස්ථානයේ සිටින ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබා සිටී.

නායක ඇන්ජලෝ මැතිව්ස් (91) සිය පස්වැනි ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (9 වැනිදා) කඩුලු 9 කට ලකුණු 533 ක් ලබා පළමු ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 82 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගනිමින් නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට බාර කළේය.

අද සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල කඩුල්ලක් දැවී ලකුණු 4 ලබා සිටියේය.

ද්විත්ව ශතකය ලබාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ වාසිය වැඩි කිරීම සඳහා ඉක්මන් වූ සංගක්කාර ලකුණු 221 ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසුවිය. ඒ  වනවිට විනාඩි 698 ක් පිටියේ ගතකළ මෙම අලංකාර වමත් පිතිකරුවා පන්දු 425 කට මුහුණ දෙමින් හතරේ පහර 24 කින් සිය ඉනිම සරසා තිබිණ.

මැතිව්ස් දැවී යාමට පෙර සංගක්කාර සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර මෙම සම්බන්ධතාව නිසා පාකිස්තානු පිලේ මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාවට ආසන්න වීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව ලැබිණ. එසේ නොවූයේ නම් ලකුණු 257 දී මහේල ජයවර්ධන දැවී යාමත් සමගම ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටීමට ඉඩ තිබිණ.

අපරාජිත ලකුණ 189 සඳහා විනාඩි 606 ක් පිටියේ රැඳුනු සංගක්කාර පන්දු 377 කට මුහුණ දෙමින් ඒවායින් 21 ක් හතරේ සීමාවට යවා තිබිණ. සිය 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය වෙනුවෙන් පන්දු 103 කට මුහුණ දුන් මැතිව්ස් ලකුණු 91 ක් ලබා දැවී යන විට පැය 4 කට වැඩි කාලයක් පිටියේ රැඳී තිබිණ.

ටෙස්ට් තරග 43 කදී ඉනිම 71 කට මුහුණ දුන් මැතිව්ස් ටෙස්ට් ඉනිමකදී ලකුණු 90 පසුකිරීමෙන් පසුව දැවී ගිය පස්වැනි අවස්ථාව මෙයයි. එම අවස්ථා 5 න් අවස්ථා 3 කදීම දැවී ගොස් ඇත්තේ පාකිස්තානු පිල හමුවේදීය.

ලකුණු එරෙහි රට නගරය දිනය
99 ඉන්දියාව  මුම්බායිහිදී  2009 දෙසැම්බර් 9 දා
95 ඕස්ට්‍රෙලියාව ගාල්ලේදී 2011 අගෝස්තු 31 දා
91 පාකිස්තානය අබුඩාබිහිදී 2013 දෙසැම්බර් 31 දා
91 පාකිස්තානය සාජාහිදී 2014 ජනවාරි 16 දා
91 පාකිස්තානය ගාල්ලේදී 2014 අගෝස්තු 9 දා

කෙසේ වෙතත් මෙම තරගයේ තීරණයක් පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ. තරගයේ ඉතිරිව ඇත්තේ තවත් පැය 8 කට මඳක් වැඩි කාලයක් වන නමුත් තවමත් දෙපිලේ පළමු ඉනිම වත් අවසන් වී නැති අතර ශ්‍රී ලංකා පිල තවමත් පසුපසින් සිටී.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවකු වන මහේල ජයවර්ධනට ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී සහභාගි වන අවසන් ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගැනීම සඳහාම තණතීරුව සකස් කර තිබියදීත් ඊට එකග නොවූ පාකිස්තානු වේග පන්දු යවන්නා වන ජුනයිඞ් ඛාන් විසින් දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව යවන ලද පළමු  ඕවරයේදී මහේල ජයවර්ධන දවාගන්නා ලදි.

පෙරවරුවේදී යවන ලද පළමු  ඕවරයේ පළමු පන්දුවටම කුමාර් සංගක්කාර ඉතාමත් පහසු උඩපන්දුවක් දුන් නමුත් පොයින්ට් හි සිටි අබ්දුර් රෙහෙමාන් එම උඩපන්දුව පිළිගැනීමට අකමැති විය. ඒ වන විට සංගක්කාර ලබා සිටියේ ලකුණු 102 ක් පමණි.

රෙහ්මාන්ගේ දෑත් අතරින් උඩපන්දුව ලිස්සා යද්දී පිතිකරුවන් ලකුණක් සඳහා පැති මාරු කරගත් අතර ජුනයිඞ්ගේ දෙවැනි පන්දුව මහේලගේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් කී‍්‍රඩකයන් අතරින් හතරේ සීමාව සොයා ගියේය.

තුන්වැනි පන්දුවට ලකුණක් නොගත් මහේලට ජුනයිඞ් විසින් යවන ලද සිවුවැනි පන්දුව පිතිකරුවාගේ පා ආවරණයේ වැදිණ. පාකිස්තානුවන් කළ ඉල්ලීම විනිසුරු ඉයන් ගෝල්ඞ් මහත විසින් ප‍්‍රතික්ෂේප කරන ලද නමුත් නායක මිස්බා උල්හක් විනිසුරුවරයාගේ තීරණයට අභියෝග කළේය. ප‍්‍රතිඵලය වූයේ මහේලගේ ඉනිම ලකුණු 59 දී නතර වීමයි. ඒ වන විට ලකුණු පුවරුවේ කඩුලූ 3 කට ලකුණු 257 ක් ලෙස සටහන් වී තිබිණ.

මෙය මහේලගේ 49 වැනි ටෙස්ට් අර්ධ ශතකය වන අතර ඔහු ලබාගත් ශතක, ද්විත්ව ශතක සහ ති‍්‍රත්ව ශතකයද සමගින් ටෙස්ට් ඉනිම 249 කදී ලකුණු 50 සීමාව පසුකර ගිය 83 වැනි අවස්ථාව එයයි.

වෙනදා මෙන් දග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් නොව මෙම තරගය පැවැත්වෙන තණතීරුව පිතිකරුවන්ගේ පරාදීසයකි. තරගයේ සිවුවැනි දිනයේ තේ පානය විට දෙපිලම ලකුණු 900 ඉක්මවා ලබාගෙන තිබුණත් බිඳවැටී තිබුණේ කඩුලූ 14 ක් පමණි.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ....

(ඡායාරූප - ශාන්ත රත්නායක)


අදහස් (1)

සංගාගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.