Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්

ශී‍්‍ර ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (10) අවසන් වූ පළමු තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. ශ‍්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.  

ශ‍්‍රී ලංකා පිලට අද පස්වරුවේ  ඕවර 21 කදී ලකුණු 99 ක ඉලක්කයක් කරා යාම බාර වූ අතර ශ‍්‍රී ලංකා පිතිකරුවෝ  ඕවර 16.2 කදී කඩුලූ 3 ක් පමණ දැවී එය සම්පූර්ණ කළහ.

ආලෝක තත්ත්වය අයහපත් වූ අතර පාකිස්තානු පිල ඉන් ප‍්‍රයෝජනය ලබා ගැනීමට විවිධ උපක‍්‍රම යොදමින් උත්සහ කළ ද ඇන්ජලෝ මැතිව්ස් පස්වරු 5.40 ට පමණ තරගය අවසන් කළ වාහාම ක‍්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක් ඇද හැලූණි.

ගාල්ල ක‍්‍රීඩාංගණයේදී සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූ මහේල ජයවර්ධන සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ පළමු වරට ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණෙමින් ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 6000 කට ආසන්න පේ‍්‍රක්‍ෂකයන්ට ශ‍්‍රී ලංකා මාතාව බිහි කළ අසහාය පිතිකරුගේ පිතිහරඹය දැකගැනීමේ අවස්ථාව උදාකර දුන්නේය.

රංගන හේරත් ලකුණු 48 කට කඩුලූ 6 ක් දවා ගනිමින් පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 180 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය.

ශාමින්ද එරංග මෙම තරගයේදී යැවූ 43 වැනි  ඕවරයේදී එනම් දෙවැනි ඉනිමේ ඔහු යැවූ 12 වැනි  ඕවරයේ පස්වැනි පන්දුවේදී ප‍්‍රතිඵල ගෙන එමින් පාකිස්තානු අටවැනි කඩුල්ල දවාගැනීමත් සමග තේ පානයට තරගය අත්හිටුවීය.  

රංගන හේරත්, ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහි මාවතට අවතීරණ කරමින් අසාද් ශාෆීක් වෙත යැවූ පන්දුව ඔහුගේ පසු පා ආවරණයේ දැවටුණේය. කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානු ජාතික විනිසුරු බෲස් ඔක්සන්ෆෝඞ් එය දැවී යෑමක් නොවන බවට දැනුම් දුන්නේය.

ඇන්ජලෝ මැතිව්ස් සිය ජ්‍යෙෂ්ඨතම සගයා වන මහේල ජයවර්ධනගෙන් ද විමසා එය විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයට යොමු කළ අතර එහිදී කඩුල්ලේ වදින පන්දුවක් ලෙස තීරණය විය.   

ඩිල්රුවන් පෙරේරා නැවතත් ක‍්‍රියාත්මක වෙමින් පන්දු තුනක් තුළ ශ‍්‍රී ලංකාවට දෙවැනි කඩුල්ල ගෙන එමින් පාකිස්තානු පිලේ ගැලවුකරු වන නායක මිස්බා උල් හක් (28) කඩුල්ල මුවා කිරීමේ වරදයට හසුකර ගත්තේය. එම ඉල්ලීම ප‍්‍රධාන විනිසුරු එංගලන්ත ජාතික ඉයන් ගෝල්ඞ් දැවී යෑමක් නොවන බවට තීරණය කළ අතර විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයෙන් දැවී යෑමක් ලෙස සනාථ කළේය. ඒ අනුව පාකිස්තානය කඩුලූ 6 කට ලකුණු 111 ක් බවට පත්විය.  

අසාර් අලී (41) සහ මිස්බා උල් හක් පස්වැනි කඩුල්ලට ගොඩගනමින් සිටි සම්බන්ධතාව ලකුණු 56 කට සීමා කළ රංගන හේරත් සිය තෙවැනි කඩුල්ල ලෙස අසාර් අලී පිටියෙන් ඉවත් කළේය.  

පළමු ඉනිමේදී ලකුණු 177 ක් රැස් කරමින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අභියෝගය වූ යුනිස් ඛාන්ගේ ඉනිම ලකුණු 13 කට සීමා කිරීමට රංගන හේරත් සමග වීමත් සමග පාකිස්තානු පිල තරමක තැති ගැන්වීමකට පත්විය. ධම්මික ප‍්‍රසාද් යැවූ ඊයේ දිනයේ හයවැනි  ඕවරයේදී සැදෑ ආරක්‍ෂක පිතිකරු ලෙස ක‍්‍රීඩා කළ සයිඞ් අජ්මාල් ලකුණු 4 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. සිවුවැනි දිනය වූ ඊයේ (09) ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල එක කඩුල්ලක් දැවී ලකුණු 4 ක් ලබා සිටියේය.

 

දෙරට අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ශාන්ත රත්නායක)


අදහස් (6)

ශී‍්‍ර ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.