Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග්‍රෙග් චැපල් ?

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග්‍රෙග් චැපල් ?

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සඳහා ප‍්‍රධාන පුහුණුකරුවකු බඳවාගැනීමට කළ අයැදුම්පත් කැඳවීමේදී අයැදුම්පත් 11 ක් ලැබී ඇතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඒ සඳහා තවදුරටත් උනන්දු වන බව වාර්තා වේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු විශිෂ්ටතම නායකයකු මෙන්ම පිතිකරුවකුද වූ, කලක් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවාද වූ ග්‍රෙග් චැපල් මහතාගේ සේවය ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබාගත හැකිද යන්න පිළිබඳව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය උනන්දු වෙමින් සිටී.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා මේ වන විටත්  ඕස්ටේ‍්‍රලියාවේ සිටින අතර ඔහුගේ පෞද්ගලික හිතවතෙකු මගින් ග්‍රෙග් චැපල් මහතා වෙත ලංවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය උත්සාහ කරයි. මොහාන් ද සිල්වා මහතා  ඕස්ටේ‍්‍රලියාවට ගොස් ඇත්තේ සිය පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් සඳහාය.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලධාරීන් හෝ පුහුණුකරු තෝරා ගැනීම සඳහා පත්කරන ලද කමිටුව සමග මූලික සාකච්ඡවක් පැවැත්වීම සම්බන්ධයෙන් ග්‍රෙග් චැපල් මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇතැයිද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී රණතුංග මහතා කියා සිටියේ තමන් එහි නවතම තත්ත්වය සම්බන්ධයෙන් මොහාන් ද සිල්වා මහතාගෙන් දුරකතන ඇමතුමක් බලාපොරොත්තුව සිටින බවයි.

”කොහොම වුණත් තවමත් ඒ ගැන ස්ථිරව යමක් කියන්න බෑ. ඔහු (ග්‍රෙග් චැපල් මහතා) සමග සාකච්ඡා කරයින් පස්සේ තමයි නිශ්චිතව යමක් කියන්න පුළුවන් වෙන්නේ” යයි ද රණතුංග මහතා ලංකාදීපට පැවසීය.

ඉතා දැඩි මෙන්ම සෘජු ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරන්නෙකු ලෙසින් ප‍්‍රකට ග්‍රෙග් චැපල් මහතා ඉන්දීය පුහුණුකරුවා වශයෙන් කටයුතු කරද්දී ඉන්දීය කි‍්‍රකට් බලධාරීන් සමග ඇතිවූ විරසකයක් හේතුවෙන් කොන්ත‍්‍රාත් කාලය නිමවීමට පෙර තනතුර අතහැර දමා ගියේය.

ග්‍රෙග් චැපල් මහතා විසින් ඉන්දීය කී‍්‍රඩකයකු වෙත යවන ලද ඊ-මේල් පණිවුඩයක්, අදාළ කී‍්‍රඩකයා විසින් ඉන්දීය කි‍්‍රකට් බලධාරීන් වෙත යැවීමෙන් අනතුරුව, එය ඉන්දීය මාධ්‍ය වෙත නිකුත්වීම ඉන්දීය කි‍්‍රකට් බලධාරීන් සහ චැපල්  මහතා අතර විරසකයට හේතුව විය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා අයැදුම්පත් බාරගැනීම පසුගියදා නිමා වූ අතර ඒ සඳහා 11 දෙනකු අයැදුම්කර තිබිණ. ශී‍්‍ර ලාංකිකයන් වූ මාවන් අතපත්තු, රොමේෂ් කළුවිතාරණ සහ රුවන් කල්පගේද මේ සඳහා අයැදුම්කර තිබිණ.

මාවන් අතපත්තු මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහායක පුහුණුකරු මෙන්ම පිතිහරඹ පුහුණුකරුවාද වන අතර රොමේෂ් කළුවිතාරණ මහතා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.

ඉන්දීය ටෙස්ට් පිලේ හිටපු කී‍්‍රඩකයන් වන වෙන්කටේෂ් ප‍්‍රසාද් සහ ලාල්චන්ද් රාජ්පුට්ද තවත් ඉන්දීය ජාතික පුහුණුකරුවකු වන මෝහිත් සෝනිද,  ඕස්ටේ‍්‍රලියානුවන් දෙදෙනකු වන මයිකල් ඕ සලිවන් සහ ෂේන් ඩෆ් යන මහත්වරුන්ද මෙම තනතුර සඳහා අයැදුම්කර තිබේ. ෂේන් ඩෆ් මහතා කලක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේම අභ්‍යාසක තනතුර දැරීය.

පසුගියදා ශී‍්‍ර ලංකාවේ සංචාරය කළ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා වන ග‍්‍රාන්ට් බ‍්‍රැඞ්බර්න්ද, එංගලන්ත ජාතිකයන් වන පෝල් ෆාබ‍්‍රාස් සහ ඉයන් පොන්ට් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත්ව සිටින සෙස්සෝ වෙති.

වසර 2009 දී පැවැති ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරයේදී  ලාහෝර් නුවරදී සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන්ද පෝල් ෆාබ‍්‍රාස් මහතා තුවාල ලැබීය. ඒ වන විට ෆාබ‍්‍රාස් මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහායක පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටියේය.

1980 දශකය අග භාගයෙන් පසුව වසර 1995 ජූලි මාසයේදී  ඕස්ටේ‍්‍රලියානු ජාතික ඩැව්නෙල් වට්මෝර් මහතා පැමිණෙන තුරුම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළේ ශී‍්‍ර ලාංකිකයන්මය.

එතැන් සිට අවස්ථා දෙකකදී පමණක් රෝයි ඩයස් මහතා (1998-99) සහ රුමේෂ් රත්නායක මහතා (2011 දි) ඉතාමත් කෙටි කලක් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ නමුත් අන් සියලූම අවස්ථාවන්හිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන ලද්දේ විදේශිකයෙකි. එසේ කටයුතු කළ විදේශිකයන් 8 දෙනා අතුරින් හත් දෙනෙක්ම  ඕස්ටේ‍්‍රලියානුවෝ වෙති. අනෙක් තැනැත්තා වත්මන් පුහුණුකරුවා වන දකුණු අපි‍්‍රකානු ජාතික ග‍්‍රැහැම් ෆෝඞ් මහතාය.

 


අදහස් (7)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග්‍රෙග් චැපල් ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.