Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා කණ්ඩායම දෙලොවක් අතර

ශ්‍රී ලංකා කණ්ඩායම දෙලොවක් අතර

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

■    චන්දිමාල්ට තවදුරටත් දඬුවම් ලැබෙයිද? නැද්ද?
■    හෙට (12 වැනිදා) තරගයට චන්දිමාල්ව යොදාගන්න පුළුවන්ද? බැරිද?
■    හෙට චන්දිමාල්ට ගහන්න බැරිවුණොත් අපේ පිතිකරු ලයිස්තුවට ඇතුළත් කරන්නේ කවුද?...අංක 4 ට ගේන්නේ කාවද ?

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී හෙට (12 වැනිදා) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට පැය කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බරපතළම ප්‍රශ්න කිහිපය වූයේ මෙයයි.
 
ප්‍රශ්න කෙතරම් බරපතළ වූවත්, අද (11 වැනිදා) රාත්‍රිය වන තෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොලැබෙන බව දැන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කුමක් හෝ වේවා එන තත්ත්වයට මුහුණ දීමට සූදානමින් සිටියේය.

තරගයට පෙර සාම්ප්‍රදායිකව පැවැත්වෙන පුවත් පත් සාකච්ඡාව සඳහා ක්‍රීඩකයකු තෝරා ගැනීමේදීත් බොහෝ විමසිලිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පුවත් පත් සාකච්ඡාව සඳහා නවකයකු වන රොෂේන් සිල්වා එවීය. දිනේෂ් චන්දිමාල් පුවත් පත් සාකච්ඡාවට නොයැවීමට වගබලාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණකාරීත්වය, සුරංග ලක්මාල් එතැනට නොයැවූයේ චන්දිමාල් හෙට තරගය සඳහා ක්‍රීඩා නොකරන බවට පූර්ව ඉඟියක් දකුණු අප්‍රිකානුවන්ට නොදීමේ අරමුණින් විය හැකිය.

කෙසේ වෙතත් අද රාත්‍රියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ගනු ලැබීමට නියමිතව තිබූ තීරණයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් වන තත්ත්වයක් පැහැදිළිවම පෙනෙන්නට තිබිණ. කිසියම් ආකාරයකින් චන්දිමාල්ගේ දඬුවම දීර්ඝ කෙරුණේ නම් චන්දිමාල්ට තරගාවලියම අහිමි වන අතර සුරංග ලක්මාල් මත නායකක්වයේ වගකීම පැවරෙනු ඇත.

හෙට ආරම්භ වන තරගය පැවැත්වෙන්නේ දස්කම් අතින් එතරම් සමබර කණ්ඩායම් දෙකක් අතර නොවේ.

අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 2 වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව සතුව ප්‍රසාද ලකුණු 112 ක් ඇතත් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සතුවන්නේ ප්‍රසාද ලකුණු 91 ක් පමණි. කොදෙව් සංචාරයට පෙර ප්‍රසාද ලකුණු 94 ක් හිමිව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිල හමුවේ ලද පරාජයෙන් පසුව තවත් ලකුණු 3 ක් අහිමි කරගත්තේය.

“කොදෙව් සංචාරයේදී අපට මුහුණ දෙන්න සිද්ධ වුනේ අනපේක්‍ෂිත අභියෝග වලටයි. අපේ පුහුණුකරුවා (චන්දික හතුරුසිංහ මහතා) වගේම පිතිහරඹ පුහුණුකරුවාත් (තිලාන් සමරවීර මහතා) කියා සිටියේ ඒක අපි පසුගිය වසර 10 ක 15 ක කාලයේදී මුහුණ දුන්න අමාරුම තණතීරු වලින් එකක් බවයි. ඒ වගේම අපේ පුහුණුකරුවා කියා සිටියේ ඒක අපි මුහුණ දුන්න අමාරුම තරගාවලිය වලින් එකක් කියලයි”

“අපි (කොදෙව් සංචාරයේදී) පළමු වැනි ටෙස්ට් තරගය පැරදුනාම ඔවුන් ඊළඟ තරග දෙකේදි තණකොළ ගොඩාක් තියලා තණතීරුව හැදුවා. විශේෂයෙන්ම විදුලි ආලෝකය යට ක්‍රීඩා කරද්දී, පන්දුවත් වේගයෙන් එනවා..ඒත් අපි ඒ අභියෝගයට මුහුණ දීලා තරගාවලිය සමකරගත්තා” යයි කී රොෂේන් සිල්වා.....

“වර්ෂාව නිසා පැය දෙකක විතර කාලයක් අහිමි නොවුණා නම් අපිට දෙවැනි ටෙස්ට් තරගයත් දිනන්න තිබ්බා” යයිද පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ එවන් ආත්ම විශ්වාසයකින් යුතුවය.

කොදෙව් සංචරයේදී පිත්තෙන් වැඩිපුර යමක් කළ නොහැකි වූ රොෂේන් සිල්වා ටෙස්ට් තරග 6 කදී ලකුණු 43.77 ක සාමාන්‍යක් පවත්වාගෙන යන නමුත් හෙට මුහුණ දීමට සූදානම් වන්නේ මව්බිමේදී සහභාගි වන පළමු ටෙස්ට් තරගයටයි. එහිදී දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය ඔහුට සුළුපටු අභියෝගයක් නොවේ.

මේ වන විට ලෝකයේ සිටින වේග පන්දු යැවීමේ බලඇණි අතර ඉදිරියෙන්ම සිටින දකුණු අප්‍රිකාව සතුව කගිසෝ රබාඩා, වර්නන් ෆිලැන්ඩර්, ලුන්ගි න්ගිදී වැනි තරුණ ජවය සහිත ක්‍රීඩකයන් මෙන්ම වසර කිහිපයක්ම ලෝකයේ අංක එකේ වේග පන්දු යවන්නා වූ ඬේල් ස්ටේන්ද සිටිති. මාස හතකට වැඩි කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉයත්ව සිටි ස්ටේන් මෙම තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්ව සිටී.

මේ වන විට ටේස්ට් තරග 86 කදී කඩුලු 419 ක් ලබා සිටින ස්ටේන් තවත් කඩුලු 3 ක් දවාගතහොත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින ෂෝන් පොලොක්ගේ (421) වාර්තාව තමන් සතුකරගනු ඇත.

ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට සහයෝගය දක්වන බව ලෝ ප්‍රකට කාරණාවක් වුවත් හෙට තරගයේදී තමන්ගේ කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනකු ඇතුළත් කරගැනීමට නායක ෆෆ් ඩු ප්ලෙසි උනන්දුවෙන් සිටී. කේෂව් මහාරාජ් දඟ පන්දු යවන්නා වන බැවින් 7-4 අනුපාතය දකුණු අප්‍රිකානු නායකයාගේ පළමු සැලැස්ම වී තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙරට අතර පැවැති ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියේ 25 වැනි වසර සම්පූර්ණ කරයි. වර්ණභේදවාදය හේතුවෙන් ක්‍රිකට් ලෝකයෙන් පිටමං කරනු ලැබ සිටි දකුණු අප්‍රිකානුවන්ට 1991 දී නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට එක්වීමේදී ශ්‍රී ලංකාවෙන් ලැබුණේ නොමඳ සහයෝගයකි. ඊට කෘතගුණ දැක්වීමක් වශයෙන් 1993 දී ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් තරග තුනකට සහභාගි වූ අතර එම තරගාවලිය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජය විය.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ළහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත

දකුණු අප්‍රිකානු සංචිතය :
ෆෆ් ඩු ප්ලෙසි (නායක), ඩීන් එල්ගා, ඒඞ්න් මාක්රම්, හසිම් අම්ලා, ටෙම්බා බවුමා, තියුනිස් ඩි බෘයින්, ක්වින්ටින් ඩි කොක්, හෙන්රික් ක්ලාසන්, වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා, ඬේල් ස්ටේන්, ලුන්ගි න්ගිදි, තබ්රේස් ෂම්සි, කේෂව් මහරාජ් සහ ෂෝන් වොන්බර්ග්

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම දෙලොවක් අතර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.