Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner යුනිස් ඛාන් පාකිස්තානය ඔසවයි

යුනිස් ඛාන් පාකිස්තානය ඔසවයි

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුනිස් ඛාන්ගේ (නොදැවී 133) සටන්කාමී ඉනිම නිසා පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (06) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 261 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.

පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් වන විට යුනිස් ඛාන් (නොදැවී 133) සහ අසාද් ශාෆීක් (නොදැවී 55) පස්වැනි කඩුල්ල සදහා ලකුණු 105 ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්ව සිටියහ.

යුනිස් ඛාන් දුර්වල පන්දුව තෝරා බේරා ගෙන පහර දෙමින් පන්දු 228 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 133 ක් රැස් කර සිටියේය. මෙය 36 හැවිරිදි යුනිස් ඛාන්ගේ 24 වැනි ටෙස්ට් ශතකයයි.

යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් (31) සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 100 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආහ.

නායක මිස්බා උල් හක් ලකුණු 31 ක් ලබා රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ධම්මික ප‍්‍රසාද් (54/2) සහ රංගන හේරත් (68/2) ශ‍්‍රී ලංකා පිලේ සාර්ථක පන්දු යවන්නන් වෙමින් කඩුලූ දෙක බැගින් දවා ගත්හ.  

ශ‍්‍රී ලංකා පිලට දිවා විවේකයෙන් පසුව කඩුලූ දවා ගැනීමට අවස්ථා කීපයක්ම ලැබුණ ද එම අවස්ථාව මගහැරී යෑම කැපී පෙනුණි.

ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට යුනිස් ඛාන් ලකුණු 68 ක් ලබා සිටියදී රිවර් ස්විප් පහරක් ගැසීමට සූදානම් වන බව කල්තියා දුටු මහේල ජයවර්ධන පා ඉන්න පැත්තට ගමන් කරමින් උඩ පන්දුව රැකගැනීමට උත්සහ කළ ද අතේ වැදී බිමපතිත වීමෙන් යුනිස් ඛාන්ට තව දුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව උදාවිය.  

ඩිල්රුවන් පෙරේරා යැවූ ඉනිමේ 45 වැනි  ඕවරයේ සිවුවැනි පන්දුවට යුනිස් ඛාන් ලකුණු 59 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බවට විනිසුරු තීරණය කළේය. කෙසේ වෙතත් විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයේදී එය කඩුල්ලට ඉහළින් යන පන්දුවක් බවට තීරණය කරමින් දැවී යෑම අවලංගු කළේය.

දිවා විවේකය වන විට පාකිස්තානු පිල ඕවර 26 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 59 ක් පමණක් ලබා සිටියේය.

ධම්මික ප‍්‍රසාද් යැවූ ඉනිමේ 25 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවට යුනිස් ඛාන් ලකුණු 20 ක් ලබා සිටියදී කඩුලූ රකින්නාට උඩ පන්දුවක් රැකගැනීමෙන් දැවී ගිය බවට ප‍්‍රධාන විනිසුරු තීරණය කළ ද එය පා ආවරණයේ වැදී ගිය පන්දුවක් ලෙස විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයෙන් සානාථ කිරීමෙන් ශ‍්‍රී ලංකාවට සිවුවැනි කඩුල්ල අහිමිවිය.

දිවා විවේකය පෙනි පෙනි තිබියදී රංගන හේරත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අසාර් අලී ලකුණු 30 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. අසාර් අලී සහ යුනිස් ඛාන් තෙවැනි කඩුල්ලට ලකුණු 37 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ධම්මික ප‍්‍රසාද් නැවතත් ක‍්‍රියාත්මක වෙමින් කුරාම් මන්සූර් (03) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ශ‍්‍රී ලංකා පිල ඉනිමේ හය වැනි  ඕවරයේදී පෙරමුණට ගෙන ආවේය.

ධම්මික ප‍්‍රසාද් යැවූ කඩුල්ල තුළට දෝලය වූ පන්දුව අහ්මඞ් ශෙෂාඞ්ගේ පිත්තේ වැදී කඩුල්ල සොයා යෑමත් සමග පාකිස්තානු පිලේ පළමු කඩුල්ල දැවී ගියේය.
මෙහිදී ශ‍්‍රී ලංකා පිලේ උප නායක ළහිරු තිරිමාන්නට දෙවැනි වරටත් කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර එම ස්ථානයේ කිත්රුවන් විතානගේ ක‍්‍රීඩා කරයි.

ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් ලෙස ශාමින්ද එරංග සහ ධම්මික ප‍්‍රසාද් ක‍්‍රීඩා කරති. පාකිස්තානු නායක මිස්බා උල් හක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ගාල්ල ප‍්‍රදේශයට ඊයේ (05) රාත‍්‍රී ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් ක‍්‍රීඩාංගණයේ හතරේ සීමාව ප‍්‍රදේශය තරමක තෙත බරිත තත්ත්වයක් පැවතීම නිසා තරගය ආරම්භ වීම විනාඩි 30 කින් ප‍්‍රමාද විය. එම ප‍්‍රමාදය හේතුවෙන් තරගය පස්වරු 6.00 දක්වා පැවැත්විණි.

හෙට (07) තරගයේ දෙවැනි දිනයයි.

 

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

යුනිස් ඛාන් පාකිස්තානය ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.