Last Update  :  2024-05-11 10:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංගගේ අවස්ථාව ගැන දෙගිඩියාවෙන්

මාලිංගගේ අවස්ථාව ගැන දෙගිඩියාවෙන්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ඉන්දියානුවෝ මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියත් පරාජය නොවී සිටීමට නම් අඩු තරමේ හෙට (27 වැනිදා) තරගය හෝ ජයගෙන තරගාවලියේ රැඳී සිටිය යුතු තත්ත්වයක් ඇතිවී තිබේ.

එවන් වාතාවරණයක් තිබියදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින්නේ මහත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට බව නොකියා නොහැක.

කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග තරග දෙකකට තහනමකට මුහුණ දී සිටින අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක තුවාල ලබා සිටී. පිතිකරු ලයිස්තුවේ හිස්තැන් පිරවීමට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න හෙට තරගයට ක්‍රීඩා කරන බව තහවුරු කිරීමටවත් අපොහෙසත් වූ නව නායක චාමර කපුගෙදරටත් පුහුණුවීම් වලදී පන්දුවක් වැදුණේය. පසුව කළ විමසීමකදී දැනගත හැකිවූයේ කපුගෙදරගේ තත්ත්වය සාමාන්‍යය බවයි. මේ තරගය ආරම්භ වීමට පැය 24 කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වයයි.

“අපි ඇත්තටම කණ්ඩායම ගැන තවම අවසන් තීරණයක් අරගෙන නෑ. තියෙන විකල්ප ගැන හොයලා බලනවා..හෙට තරගයේදී කවුරු ඉනිම ආරම්භ කරාවිද කවුරුන් මැද පෙළට එක්වේවිද කියලා දැන්ම කියන්න බෑ” යයි චාමර කපුගෙදර අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

ඒ කියන්නේ චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න හෙට තරගයට ක්‍රීඩා කරන එකක් නැතිවේවිද ? යයි කළ විමසීමට පිළිතුරු දුන් කපුගෙර කීවේ..

“එහෙම එකක් නෙමේ. අපි තාම තීරණයක් අරගෙන නෑ. තියෙන විකල්ප මොනවාද කියා සොයා බලනවා” යන්නයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම වැනෙන ප්‍රතිපත්ති හේතුවෙන් කිසිම ක්‍රීඩකයකුට ස්ථාවරත්වයක් ඇතිව තරගයකට මුහුණ දිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. තරගයක් සඳහා ක්‍රීඩකයන් 11 දෙනකු සොයාගත නොහැකි තත්ත්වයක් තිබියදීත් හෙට තරගය වෙනුවෙන් සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගේ සිත් තුළ ආත්ම විශ්වාසයක් නැත. තරගය ආරම්භ වීමට පැය 24 කට පෙරදීවත් තමන්ගේ කණ්ඩායම කුමක්ද යන්න නායකයා දන්නේත් නැත. එහෙත් සියල්ලෝම කියන්නේ ආත්ම විශ්වාසයෙන් තරග වදින ලෙසසි.

කවුරුන් කුමක් කීවද ටෙස්ට් මෙන්ම එක්දින කණ්ඩායමේත් අංක 4 ස්ථානයට හොඳම පිතිකරුවා දිනේෂ් චන්දිමාල් මිස අනෙකකු නොවේ. ඔහු අවස්ථා කිහිපයකදීම ඒබ ව පෙන්නුම් කර ඇතත් විවිධ හේතු කාරණා මත ඔහුට ඒ අවස්ථාව අහිමි කරනු ලැබිණ. ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පිට පිටම අර්ධ ශතක 3 ක් ලබාගත් නමුත් ඒ තරග තුනම පරාජය වීමේ පාපය චන්දිමාල් පිට හෙළනු ලැබුවේ තවත් ක්‍රීඩකයන් 10 දෙනකු කණ්ඩායමේ සිටියදීය.

වරින් වර කණ්ඩායමට එක් කිරීමට උත්සාහ කළ ළහිරු තිරිමාන්නටද දැන් කදිම අවස්ථාවක් හිමිවී තිබේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ඔහු සතුය.

දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ලසිත් මාලිංගට හෙට තරයේදීත් අවස්ථාවක් දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තේරීම් කමිටු නිලධාරීන් තුළ ඇත්තේත් දෙගිඩියාවකි. මාලිංගගේ සියලු සැර බාල වී ඇති බව හොඳින්ම පෙනෙන්නට තිබේ. ඔහුගේ කලින් පැවැති වේගය අඩුවී පන්දුවට පහර දීම පහසු වී ඇති බව ෂිකාර් ධවාන් දඹුල්ලේදී පැවසීය. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෙතෙක් කලක් ඔහු විසින් කරන ලද සේවයට කෘතගුණ දැක්වීම උදෙසා, 300 වැනි එක්දින කඩුල්ල දවාගැනීමේ අවස්ථාව ඔහුට දීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටී.

මාලිංගට අවස්ථාවක් නොලැබෙන්නේ නම් ඔහුගේ ස්ථානය තිසර පෙරේරාට හිමිවීමට විශාල අවස්ථාවක් ඇත්තේ තිසර පෙරේරා අද සවස හයේ පහර ගැසීමට පුහුණුවෙමින් සිටි බැවිනි. ලසිත් මාලිංගට අවස්ථාවක් දීම නොදීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගේ තරම මෙම තරගාවලියේදී හොඳින්ම දැකගන්නට ලැබිණ. එක පන්දු යවන්නකු විසින් කණ්ඩායමක් දවාගනු ලැබීම කෙසේ වෙතත් පන්දු යවන්නන් හතර පස් දෙනකු එක්වහෝ කඩුලු තුන හතරක් දවාගත නොහැකි තත්ත්වයට ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව තිබේ.

මෙම තත්ත්වය දෙස ඉන්දියානුවන් බලන්නේ වෙනත් ඇසකිනි. මේ වන විටත් තමන්ගේ හොඳම ක්‍රීඩකයන් ඉන්දියාවට යවා දෙවැනි පෙළ ක්‍රීඩකයන් සමගින් තරග කරමින් සිටින ඉන්දීය කණ්ඩායම හෙට තරගයේදී තව දුරටත් නවකයන්ට අවස්ථාව දීමට උත්සාහ කළහොත් එය පුදුමයක් නොවේ.

කෙසේ වෙතත් හෙට තරගය ජයගැනීම යනු ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ද්විපාර්ශ්වික එක්දින තරගාවලි අතරේ පිට පිටම හත්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමයි. එය ශ්‍රී ලංකාවේදී නම් සිව්වැනි තරගාවලි ජයග්‍රහණයයි.


ශ්‍රී ලංකා සංචිතය
චාමර කපුගෙදර (නායක), නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, දුෂ්මන්ත චමීර, අඛිල ධනංජය, ලසිත් මාලිංග, විශ්ව ප්‍රනාන්දු, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග සහ මාලින්ද පුෂ්පකුමාර

ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා, ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, කේදර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩා්‍යා, අක්ෂර් පතෙල්, යුස්වේන්ද්‍ර චාහල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, අජින්ක්‍යා රහනේ, මනිීෂ් පාණ්ඬේ, කුල්දිප් යාදව් සහ ශාර්දුල් ඨාකූර්

(ඡායාරූප - ඉෂාර එස්. කොඩිකාර)

 


අදහස් (0)

මාලිංගගේ අවස්ථාව ගැන දෙගිඩියාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.