Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහේල ශී‍්‍ර ලංකා පිල ඔසවයි

මහේල ශී‍්‍ර ලංකා පිල ඔසවයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ලකුණු 16 කට කඩුලූ දෙකක් බිඳ වැටී ඉතාමත් අසරණ අඩියකට වැටී සිටි ශී‍්‍ර ලංකා පිල එම තත්ත්වයෙන් මුදවා ගනිමින් මහේල ජයවර්ධන කළ විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අපි‍්‍රකාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (24 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින කී‍්‍රඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 305 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.

එස්. එස්. සී. තණතීරුවේදී තම සුපුරුදු දස්කම් අතරට පිවිස සිටින මහේල ජයවර්ධන අද සවස් වන විට නොදැවී ලකුණු 140 ක් ලබා සිටියේය. ඉම්රාන් තහීර්ගේ පන්දුවකටගැසූ චිත්තාකර්ශනීය ‘ඉන්සයිඞ් අවුට්’ පහරකින් ලකුණු 6 ක් ලබාගත් දැනට ලෝකයේ සිටින වඩාත්ම පරිණත දකුණත් පිතිකරුවා වන මහේල, පන්දු 225 කින් 16 ක් හතරේ සීමාවට පිටත්කර යවා තිබිණ. කණ්ඩායමේ කෝඩුකාරයා වන නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 12 ක් ලබා සිටියේය.

වසර 137 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේදී කිසියම් පිතිකරුවකු විසින් තනි කී‍්‍රඩාංගණයකදී ලබාගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන ලෝක වාර්තාවද හිමිකරගෙන සිටින මහේල ජයවර්ධන එම වාර්තාව වෙනුවෙන් එස්. එස්. සී. පිටියේදී සහභාගි වූ තරග 26 කදී මේ දක්වා ලබාගත් ලකුණු සංඛ්‍යාව 2838 කි.

එහි ඉනිමක සාමාන්‍යය 81.08 ක් ලෙස සටහන් වේ. මහේල අද ලබාගත්තේ තම 34 වැනි ටෙස්ට් ශතකය වන අතර එය එස්. එස්. සී. පිටියේදී ලබාගත් 11 වැනි ටෙස්ට් ශතකයද වෙයි.

තුන්වැනි සහ සිවුවැනි කඩුලූ වෙනුවෙන් ගොඩනැංවුණු සම්බන්ධතා නිසා ශී‍්‍ර ලංකා පිල හිස එසවූ නමුත් ඇත්ත වශයෙන්ම බිඳ වැටුණු කඩුලූ 5 න් දෙකක් දකුණු අපි‍්‍රකානුවන්ට පූජා කළ ඒවා විය.

මුහුණ දුන් පළමු පන්දුවම ඉතාමත් දුර්වල පහරකින් පිළිගත් කුමාර් සංගක්කාරගේ පුල් පහර වැරදී යාමෙන් ස්ක්වෙයාර් ලෙග් හි සිටි ඉම්රාන් තහීර්ට උඩපන්දුවක් ලැබිණ. සංගක්කාර ලකුණු නොලබා දැවී යාමෙන් අඩපණ වූ කණ්ඩායම යම් තරමකට හෝ ඔසවා තබන ලද්දේ මහේල සහ කෞෂාල් සිල්වා අතර පැවැති ලකුණු 99 ක් වූ තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව මගිනි.

කෞෂාල් දැවී යාමෙන් පසුව මහේලට අගනා සහයෝගයක් දෙමින් ශී‍්‍ර ලංකා පිල ඔසවා තැබීමට සහාය වූ ඇන්ජලෝ මැතිව්ස් විනාඩි 167 ක් තිස්සේ පන්දු 135 කට මුහුණ දෙමින් ලකුණු 63 ක් ලබාගත්තේය. මහේල සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 131 ක් එක්කළ මැතිව්ස් පන්දු 135 කට මුහුණ දෙමින් හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසීය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලකුණු 11,593 ක් ලබා සිටින සංගක්කාර ටෙස්ට් ඉනිමකදී ලකුණු නොලබා දැවී ගිය 10 වැනි අවස්ථාව එය වූ අතර පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගිය පස්වැනි අවස්ථාවද එයයි. එස්. එස්. සී. පිටියේදී සංගක්කාර එවන් සිදුවීමකට මුහුණ දුන් තුන්වැනි අවස්ථාවද එය විය.

ආරම්භක පිතිකරුවා වූ කෞෂාල් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියද දිවා ආහාරයට පෙර යැවුණු අවසන් ඕවරයේදී පිට ඉන්නෙන් බොහෝ ඉවත පතිත වූ ජේ. පී. ඩුමිනිගේ පන්දුවක් පසුපස හඹා යාම නිසා අත පොවන මානයේ තිබූ අර්ධ ශතකය අහිමි කරගත්තේය. හෝරා දෙකකට ආසන්න කෞෂාල්ගේ ඉනිමට අලංකාර හතරේ පහර 7 ක් ඇතුළත්ව තිබිණ.  

කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් කුමාර් සංගක්කාර ලකුණු නොලබා දැවී යාමෙන් එහි වාසිය උකහා ගැනීමට ශී‍්‍ර ලංකා පිල අසමත් විය. වේග පන්දු යවන්නකුට යැවිය හැකි ඉතාමත් විශිෂ්ට පන්දුවක් යැවූ ඬේල් ස්ටේන් විසින් උපුල් තරංගගේ ඉනිම ලකුණු 11 කට සීමා කරන ලද අතර සංගක්කාර ලකුණු නොලබා දැවී යාමෙන් දෙවැනි කඩුල්ලත් ලකුණු 16 දීම ඇද වැටිණ.

ඊයේ පෙරවරුවේදී නිර්භය තීරණයක් ගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව කණ්ඩායමේ උපනායක ළහිරු තිරිමාන්න මෙන්ම හිටපු උපනායක දිනේෂ් චන්දිමාල් දෙදෙනාම ඉවත් කරමින් දග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම තරගය සඳහා නම් කළේය.

ශී‍්‍ර ලංකාවේ 127 වැනි ටෙස්ට් කී‍්‍රඩකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ල මෙම තරගයේදී ටෙස්ට් හිස්වැස්ම දිනාගත්තේය. චන්දිමාල්ගේ ස්ථානය වෙනුවෙන් කී‍්‍රඩා කරන නිරෝෂන් දික්වැල්ල මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය වෙනුවෙන් කී‍්‍රඩා කළ කඩුලූ රකින පිතිකරුවෙකි. ළහිරු තිරිමාන්නගේ ස්ථානය සඳහා යොවුන් වමත් පිතිකරුවකු වන කිත්රුවන් විතානගේ කණ්ඩායමට කැඳවා තිබෙන අතර ශමින්ද එරංගගේ ස්ථානය සඳහා අජන්ත මෙන්ඩිස් කී‍්‍රඩා කරයි.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (3)

මහේල ශී‍්‍ර ලංකා පිල ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.